ආණ්ඩුවේ තනතුරු නාම ප්‍රචාරය නීති විරෝධී බව මංගල කියයි !

ආණ්ඩුවේ තනතුරු නාම ප්‍රචාරය නීති විරෝධී බව මංගල කියයි !

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය යන තනතුරු නාමය භාවිත කිරීම සහ ජනමාධ්‍ය තුළ ඒ ආකාරයෙන් ප්‍රචාරය කිරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීයි සහ සදාචාරාත්මක නොවන මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අවධාරණය කරයි.

අද (15) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මංගල සමරවීර මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ  පසුගිය 26 වෙනිදා ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය නීත්‍යානුකූල නොවන බව ඊයේ (14) දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48. (2) වගන්තිය (පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළ හොත් එවිට ද ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ හොත් එවිට ද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය.) ප්‍රකාරව, ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 122කගේ අති බහුතරයක් විසින් සම්මත කොට  අවලංගු ආණ්ඩුවක් බව තීන්දු කළ බවය.

වැඩිදුරටත් එහි මෙසේද සඳහන්ව ඇත.

එසේම අද (15) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී ගරු කතානායකවරයා විසින් මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයෙක්, සභානායකවරයෙක් හෝ විපක්ෂනායකවරයෙක් නොමැති බව සිය කතාව තුළින් අවධාරණය කර සිටියේය.

එසේ තිබිය දී ඇතැම් ජනමාධ්‍ය තවමත්  මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නමත් සමග අගමැති යන තනතුරු නාමය භාවිත කොට සිය ප්‍රචාරණයන් සිදුකිරීම නීති විරෝධී කටයුත්තකි. එමෙන්ම එකී ක්‍රියාව තුළින් ගරු මන්ත්‍රීවරු සතු පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් සහ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ද පෙන්වා දෙමි.

ඒ අනුව ඇතැම් ජනමාධ්‍ය ප්‍රචාරයන් තුළ මන්ත්‍රීවරුන්ගේ නම් සමග ‘අගමැති‘ නාමය හෝ ‘අමාත්‍ය‘ යන නාමයන් භාවිත කිරීම බරපතළ වරදක් බවත්, හිතාමතා දිගින් දිගටම එසේ සිදුකිරීමට එරෙහිව ඉදිරියේදී නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන බව දන්වා සිටිමි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න