"සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් ජම්පර් අඳින්න වුණොත්, තමන් ඊට සූදානම්" බව කතානායක කරූ ජයසුරිය පවසයි.
කතානායකවරයා මෙසේ පවසා සිටියේ, පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව වෙනස් කළ බවට සහ කූට ලේඛන සකස් කළ බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උදය ගම්මන්පිළ මන්ත්‍රීවරයා විසින් කතානායකවරයා වෙත එල්ල කර තිබුණ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වමින්ය.
ගම්මන්පිළ මන්ත්‍රීගේ මේ ප්‍රකාශය සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේ මරික්කාර් මන්ත්‍රීවරයා විසින්ය.
තමන් කිසි දිනක කූඨ වැඩ කර නොමැති අතර ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සුදානම් බවත් එහිදී කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කර ඇත.
එසේම තමන්ව කතානයකධුරය සඳහා නොසුදුසු බවට සිතන පිරිසක් ඇත්නම් ඔවුන් සිදුකලයුතුව ඇත්තේ විශ්වාසභංග යෝජනාවක් සම්මතකර පෙන්වීම බවද කතානායකවරයා අවධාරණය කර ඇත.
මේ අතර කතානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්, නොවැම්බර් මස 14, 15, 16, 19, 21 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝග වලට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව සිදු නොවූ බැවින්, එම දිනවල පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
නමුත් පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අදාළ දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු නියමාකාරව සිදුකර ඇති බවත් ඒ හේතුවෙන් කිසිඳු හැන්සාඩ් වාර්තාවක් වෙනස් කිරීමට හෝ ප්‍රසිද්ධ නොකිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

