ව්‍යවස්ථාව උල්ලංඝනය කළ සිරිසේන සමඟ මොන සාකච්ඡාද - අනුර දිසානායක

ව්‍යවස්ථාව උල්ලංඝනය කළ සිරිසේන සමඟ මොන සාකච්ඡාද - අනුර දිසානායක

ව්‍යවස්ථාවක් තිබිය දී එම ව්‍යවස්ථාව කිසිසේත් සැලකිල්ලට ලක් නොකර හිතුවක්කාරී තක්කඩි උවමනාවන් වෙනුවෙන් වැඩකළ සිරිසේන ජනපති සමඟ පවත්වන කිසිඳු සාකච්ඡාවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

අද (29) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර සාකච්ඡා මේසයේ විසඳා ගත හැකි ප්‍රශ්න තිබෙන බව පිළිගන්නා නමුත්  මෙය එවැනි ප්‍රශ්නයක් නොවන බවත්  මෙය පැහැදිළි කුමන්ත්‍රණයක් බවත් පැවසීය.

ජනාධිපතිවරයාගේ සාකච්ඡා ගණනාවකට තමන් ගොස් තිබෙන බවත්  ඒ සාකච්ඡාවල සහතික වෙච්ච දේවල් ජනපති ඉටුකර නොමැති බවත් ඒ හමුවේ ඔහු සමඟ පවත්වන  සාකච්ඡා ගැන තමන්ට  කිසිම විශ්වාසයක් නොමැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

එසේම ජනාධිපති ව්‍යවස්ථාවට යටත් කිරීම  තම අරගලය බව පැවසු මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අර්බුද සාකච්ඡාමය විසඳා ගැනීම වෙනුවෙන් සුබවාදී බලාපොරොත්තු වෙනවා. ඇතිවන අර්බුද තව තව දිග්ගැස්සෙනවට කවුරුත් කැමති නැතිව ඇති. හැබැයි ප්‍රශ්න තේරුම් ගත යුත්තේ ඕපාපාතිකව ඇතිවූ ප්‍රශ්නයක් විදියට නෙමෙයි. හිතාමතා කුමන්ත්‍රණකාරී ලෙස කරන ලද අර්බුදයක් නම් කොහොමද එකඟතා ඇති කරගන්නේ? එය විසදා ගැනීමේ රාමුව මොකක්ද? අපි කැමති වුණත් නැතත් අපි යටත් වන නීතියක් තිබෙනවා. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

එහි අනිටු ප්‍රතිවිපාක ගැන සහ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ ගැන විශාල සංවාදයක් කරපු දේශපාලන ව්‍යාපාරයක් අපි. 17 සංශෝධනය සහ 19 ගෙන එද්දි අපි යම් සාධනීය මැදිහත්වීමක් කළා. එකඟ වෙන හා නොවන කරුනු මෙහි තිබෙනවා. ජනාධිපතිගේ සිට සියලු පුරවැසියන් මේ ව්‍යවස්ථාවට යටත්. මේ ප්‍රශ්න විසඳීමේ මාර්ගෝපදේශය දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි.

ජනාධිපති ව්‍යවස්ථාවට යටත් කිරීමට අපි පාර්ලිමේන්තුවේ වැඩ රාශියක් කළා. ආණ්ඩුවක් වැට්ටවීමට පාර්ලිමේන්තුවට අවස්ථා තුනක් තිබෙනවා. ඒ අනුව විශ්වාස භංගයක් සම්මත කරලා ආණ්ඩුව පරජයට පත් කළා. පසුගිය 14 වැනි දා සිදුවූයේ එයයි. එය පාර්ලිමේන්තුවේ කටයුත්තක්. ආණ්ඩුවක් නොමැති බව ඔබතුමා 15 වැනි දා ප්‍රකාශයට පත් කළා.

ජනාධිපති තේරුම් ගත යුතුයි තමන්ගේ බලසීමාව ඇතුළේ කටයුතු කිරීම ගැන.

විශ්වාස භංගය සම්මත වූ ආකාරය ගැන කිසිම ප්‍රශ්නයක් කරන්න ජනපතිට අයිතියක් නෑ. විශ්වාස භංගය ව්‍යවස්ථාදායකයේ කාර්ය භාරයක්. ව්‍යවස්ථාදායකය ඇතුළේ ආණ්ඩුව පරාජයට පත් වූ බව නිවේදනය කරලා තිබෙනවා. ව්‍යවස්ථාව අනුව ජනාධිපති කළ යුත්තේ නව ආණ්ඩුවක් පත් කිරීමයි. ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව කළ යුතු කටයුතු සිදු කිරීම ගැන මොනවද සාකච්ඡා කළ යුත්තේ? ඔහු හිතුවක්කාරී ලෙස හැසිරෙමින් තිබෙනවා. විශ්වාස භංග දෙකක් සම්මත කරලා තිබෙනවා. අද යෝජනාවේ අරමුණත් ව්‍යවස්ථාවට ජනපති යටත් කිරීමට. ජනාධිපති කටයුතු කළ යුත්තේ හිතට එන අදහස් අනුව නොවෙයි.

ව්‍යවස්ථාවට අනුවයි කටයුතු කළ යුත්තේ. ජනාධිපති ව්‍යවස්ථාව කඩමින් කටයුතු කරනවා නම් සාමාන්‍ය පුරවැසියන්ට නීති කඩන්න එපා කියන්නේ? මිනිස්සු සිවිල් නීති කඩනවා නම් ජනාධිපති කොහොමද ජනතාවට නීති කඩන්න එපා කියන්නේ?  ජනාධිපති දිගින් දිගටම ව්‍යවස්ථාව කඩනවා නම් ඔහුගේ තක්කඩි වැඩ  යළි යළිත් පාර්ලිමේන්තුවේදී පෙන්වා දිය යුතුයි.  අය වැය යෝජනාවකදි, වැය ශීර්ෂයයක්දි රුපියල් 10ක් කපන්න යෝජනාව ගේන්නේ විපක්ෂ මන්ත්‍රීවරයෙක්. මේ යෝජනාවත් ඕනෑම මන්ත්‍රීවරයකුට ගේන්න පුලුවන්. මහින්ද රාජපක්ෂට හිමි විය යුත්තේ මේ මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද පමණයි. අගමැතිවරයකු ලෙස ඔහුට කිසිම වරප්‍රසාදයක් ලබන්න බෑ. 

සෙල්ලම් ගෙදරක අගමැති වුණාට කමක් නෑ ඔටුන්න ඔළුවේ දාගෙන. අගමැතිවරයකු නොවන කෙනෙක් මහජනතාවගේ භාණ්ඩාගාරයෙන් වියදම් කරනවා නම් ඒ වැය ශීර්ෂය කපන්න මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා.  අටවාගත් අගමැතිට පමණක් නෙමෙයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ඒ බලතල නෑ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න