Language Switcher

V2025

යුධහමුදාපති “හිටපු මේජර් අජිත් ප්‍රසන්නගේ” රෙදි ගලවයි

යුධ හමුදාවේ සෙබළුන්ගේ ණය ගෙවීමේ ගැටලුව විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් මැතිවරණ අල්ලසක් බවට හඳුන්වාදීම දේශපාලන වාසියක් ලැබීමේ චේතනාවෙන් සිදුකරන ලද්දක් බව හමුදාපති මහේෂ් සේනානායක සඳහන් කරයි.

පසුගියදා බීබීසී සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යුධහමුදාපතිවරයා මේ අදහස් පලකළ අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ විශ්‍රාමික මේජර්වරයෙකු බුද්ධියකින් තොරව සිදුකරන මෙවැනි හැසිරීම් හේතුවෙන් අවසානයේ රණවිරුවන්ම දුෂ්කරතාවන්ට පත්වන බවත්ය.

එසේම අද වන විට මේජර් සහ කපිතාන් නිලයන් සහිතව විශ්‍රාම ගොස් සිටින ඇතැම් පාර්ශව එවැනි තත්වයකට පත්ව ඇත්තේ යුද්ධය සමයේ හරිහැටි රාජකාරි කිරීමට අපොහොසත්වීම නිසා බවත් ඔවුන් විනයක් ඇතිව නිසිලෙස රාජකාරි සිදුකළා නම් මේ වන විට මෙජර්ජනරාල් වැනි ඉහල නිලයකට පත්වීමට අවස්ථාව තිබු බවද යුධහමුදාපතිවරයා සඳහන් කර සිටියේය.

එසේම පසුගිය සමයේ හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප පදනම් කරගෙන ගෙනගිය උද්ඝෝෂණයද දේශපාලන වාසිපතා සුළුදෙනෙක් සංවිධානය කල දෙයක් බවත් එම ගැටළුව විසඳීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ක්‍රියා කරමින් සිටියදී එය සිදුකල බවත් හමුදාපතිවරයා පැවසීය.

තමන් යුධ හමුදාපති වශයෙන් කටයුතු කරන සමයේ හමුදා නිලධාරීන්ගේ ණය ගෙවීමේ කටයුත්තේ පවතින අර්බුදය දැක ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට අපේක්ෂා කළ බවත් එය තේරුම් නොගෙන කටයුතු කිරීම කණගාටුදායක බවද ඔහු පැවසීය.

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් හමුදා නිලධාරීන්ගේ ණය ගෙවීම ක්‍රමවත් කිරීම වෙනුවෙන් දියත්කර ඇති ක්‍රියාමාර්ගය තැපැල් ජන්දය වෙනුවෙන් ලබාදුන් මැතිවරණ අල්ලසක් බව සඳහන් කර සිටියේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නය.

ඔහු මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ දේශපාලනය කරන අතර මව්බිම වෙනුවෙන් රණවිරුවෝ නම් සංවිධානයක්ද පිහිටුවාගෙන සිටියි.

 newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.