මහින්ද ඇතුළු නඩයට එරෙහි පෙත්සම්  විභාගය ජනවාරියේ !

මහින්ද ඇතුළු නඩයට එරෙහි පෙත්සම්  විභාගය ජනවාරියේ !

කුමන්ත්‍රණ ආණ්ඩුවට සම්බන්ධ මහින්ද රාජපක්ෂගේ අග්‍රාමාත්‍ය ධූරය සහ කැබිනට් අමාත්‍යධූර අභියෝගයට ලක්කරමින් රනිල් වික්‍රමසිංහ ඇතුළු  මන්ත්‍රීවරුන් 122 දෙනෙකු  අභියාචනාධිකරණයට  ඉදිරිපත් කළ පෙත්සම  ලබන මස 16,17,18 තෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (12) තීන්දු කර ඇත. මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ පෙත්සම සළකා බැලිණි.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරෝධතාවක් මතුකරමින් මෙම නඩුවට අදාළ නොතීසි සහ ලිපිගොනු ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව පෙත්සම්කාර පාර්ශවය විසින් තමන් වෙත නිසි පරිදි බාරදී නොමැති බව ප්‍රකාශ කළේය.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කිරීමක් බැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන මෙන් ද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ එවැනි නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් කළ නොහැකි බවත් මෙම විරෝධතාව සුදුසු අවස්ථාවේදී මතුකරන ලෙසත්යි.

මෙහිදී වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනාගෙන් නොතීසි නොතිසි හා ලේඛන බාරදී තිබෙන්නේ 17 දෙනෙකුට පමණක් බවත් ඉතිරි වගඋත්තරකරුවන් තිස් දෙදෙනාට නඩුවේ ලේඛන ලැබී නොමැති බවත්ය.

ඒ අනුව මෙම නඩුවේ සියලුම වගඋත්තරකරුවන්ට නැවත නිකුත් කරන ලෙස අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ  නීතිඥවරයාට නියම කළේය.

අනතුරුව නඩුවට අදාළ විරෝධතා ජනවාරි මස 4 වැනි දා ඉදිරිපත් කරන මෙන් වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරි 11 වැනි දා ඉදිරිපත් කරන ලෙස පාර්ශවයට නියම කළේය.

පසුව පෙත්සම් විභාගය ජනවාරි 16, 17 සහ 18 යන දිනවල පවත්වන බව ද අධිකරණය නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න