Language Switcher

V2025

මෝඩ උපදේශකයන් නිසා සිරිසේන අමාරුවේ !

ව්‍යවස්ථා විරෝධි, නීති විරෝධි ක්‍රියා සිදුකිරිමෙන් අනාගතයේ ජනාධිපතිටත් උසාවි ගානේ යන්නට සිදුවෙන බවත්  එදාට චතුරිකා, දහම් සිරිසේන වැනි අය හැර සිරිසේන ජනාධිපති වටේ සිටින  උපදේශකයින් කවුරුත් තනියට එන්නේ නැති බව සිහියේ තබාගෙන කටයුතු කිරීම වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

එබැවින් ඉදිරියට වැඩ කරන විට එම කාරණය සිහිතබාගෙන කටයුතු කළ බවද තම පාර්ශවය පත්කළ ජනාධිපතිට සිහිපත් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අද (14) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර සිරිසේන ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධිව කටයුතු කොට ඇති බැව් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිශ්චයකාරවරුන් 07 දෙනා විසින්ම තීන්දු කොට තිබියදී ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන්නට ජනපතිට උපදෙස් දුන් එමෙන්ම පුවත් සාකච්ඡා වලදී ව්‍යවස්ථාව අතේ තබාගෙන අදහස් දැක්වූ ගම්මන්පිල, වීරවංශ, එස්.බී දිසානායක, වාසුදේව, ඩිලාන් පෙරේරා, සුසිල් පේ‍ර්මජයන්ත, අනුර පි්‍රයදර්ශන යන මෝඩ උපදේශකලාගේ නීතිමය දැනුම පිළිබඳ බරපතල සැකයක් මතුවන බවද පැවසීය.

කලූ කබාය හැඳ අධිකරණයේ කාමරයකට ගොස් අනිකුත් නීතිඥ මහතුන්ගෙන් කරුණු දැනගෙන අධිකරණයේ පඩිපෙළ ළඟදී මාධ්‍යවේදීන්ට වොයිස් කට් දෙන ගම්මන්පිල, පෙඩිපෙලේ නීතිඥයෙකුෙ බවත් ඔහු අධිකරණයේ නඩුවලට කතා නොකරන්නෙක් බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා, ගම්මන්පිලලා වැනි  දේශපාලන ජෝකර්ලාගේ ප්‍රකාශයන් ඔබ වැනි මාධ්‍යවේදීන් රූපවාහිණි නාලිකාවල දානවා, පත්තරවල දානවා. මෙවැනි  අයගේ ප්‍රකාශ ප්‍රචාරය කොට ජනතාවගේ බුද්ධියට නිඟා නොකරන ලෙස මා ඉල්ලා සිටිනවා. ජනපති පත්කළේ එස්.බීලා, ඩිලාන්ලා, වීරවංශලා නොවෙයි. අපියි. අපි පත්කළ ජනාධිපති පිස්සු වැඩ කරන කොට අපිටත් දුකයි. රටේ ඉහලම පදවිය වන ජනාධිපති තනතුරේ ගරුත්වය ආරක්ෂා කරන මෙන් මා එතුමාගෙන් ඉල්ලා සිටිනවා.  

2006 දී අපේ කොළඹමහ නගර සභා ලැයිස්තුව ප්‍රතික්ෂේප වුණා. ඒ ලැයිස්තුවේ මමත් සිටියා. අපි එදා ස්වාධීන කණ්ඩායමකට සහාය ලබාදී ඉම්තියාස් නම් ත්‍රිරෝද රථ රියදුරු මහතෙක් නගරාධිපති කළා. එතුමා වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙක් වුනත් නගරාධිපති අසුනේ ගරුත්වය කෙලෙසුවේ නැහැ. අවුරුදු දෙකක් නම්බුකාර විදිහට රාජකාරි කළා. නමුත් අද සිරිසේන මහතා ජනාධිපති පුටුවේ ගෞරවය රකිනවාද ? ව්‍යවස්ථා විරෝධි, නීති විරෝධි ක්‍රියා සිදුකිරිමෙන් අනාගතයේ ජනාධිපතිටත් උසාවි ගානේ යන්නට සිදුවෙනවා. එදාට ඔය උපදේශකයින් කවුරුත් තනියට එන්නේ නැහැ. එදාට එන්නේ චතුරිකායි, දහම් සිරිසේනයි විතරයි.  මේ ටික මතක තියාගෙන කටයුතු කරන මෙන් මා, අපි පත්කළ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.