Image

ජන බලයෙන් හා ජන රැල්ලෙන් අපි රාජපක්‍ෂලා පරාජය කළා - පාඨලී

ජන බලයෙන් හා ජන රැල්ලෙන් අපි රාජපක්‍ෂලා පරාජය කළා - පාඨලී

ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය ජන බලයෙන් හා ජන රැල්ලෙන්  රාජපක්‍ෂලා පරාජය කළා බව පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා  මෙම අදහස් පළකර සිටියේ ඊයේ (17) ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ යුක්තියේ ජන බලය ජන රැළියට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

අද ඓතිහාසික දවසක්. මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් වුවා සේම ඒකාධිපති වියරුවෙන් මේ රට නිදහස් වෙලා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ විජයග්‍රහණයේ දවස අදයි. අපි එකාධිපතීත්වය පරාජය කරළා, අයුක්තිය පරාජය කරළා, අවනීතිය පරාජය කරළා, අපි ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කෙරෙව්වා. යුක්තිය ජයග්‍රහණය කෙරෙව්වා. නීතිගරුක සමාජයකට ශක්තිය ලබාදුන්නා.

අද රාජපක්ෂලා කියනවා ඒ ගොල්ලන්ව පරද්දුවේ විදේශ කුමන්ත්‍රණයකින්ලු. ඒගොල්ලෝ පැරදුණේ සී.අයි.ඒ. එකටලු. ඒගොල්ලෝ පැරදුණේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවයටලු. මහින්ද මහත්තයෝ ඇවිල්ල බලන්න ගෝල්ෆේස් එකට ඇවිල්ල ඉන්න ජන ගඟ. තමුන්නාන්සේව පැරද්දුවේ මේ රටේ ශ්‍රී ලාංකික ජනතාවයි කියන එක අපි මතක තබාගත යුතුයි. උතුරෙන් ආව ජනතාව, නැගෙනහිරින් ආව ජනතාව, බටහිරෙන් හා දකුණෙන් ආව ජන රැල්ලෙනුයි තමුන්නාන්සේ පැරද්දුවේ කියන එක අපි ඔහුට මතක් කරන්න ඕනි.

ඒ වගේම මහින්ද මහත්තයා ඇතුළු මේ රටේ හැම පාලකයෙක්ම මතක තබාගන්න ඕනි මිනිස්සුන්ට කෑම බීම අවශ්‍යයි. යාන වාහන අවශ්‍යයි. අඳින්න වස්ත්‍ර අවශ්‍යයි. ඒ වගේම හැම මනුස්සයෙකුටම අභිමානයක්, ආත්ම ගරුත්වයක් තිබෙනවා. ඔක්තෝබර් 26 වැනිදා තමුන්නාන්සේලා අත තිබ්බේ අපේ ඒ ආත්ම ගරුත්වයටයි. ඒ ආත්ම අභිමානයටයි. ඒ නිසා තමයි පක්ෂ, පාට, ජාති, ආගම්, කුල භේදයකින් තොරව මේ රටේ ජනතාව තමන්ගේ අභිමානය වෙනුවෙන්, නැගී සිටියේ කියන එක මහින්ද රාජපක්‍ෂ මහත්තයටත්, ඒ වගේම අනාගතයේ ඒ වගේ දේවල් කරන්න හිතාගෙන ඉන්න සියලුම දෙනාටත් අපි මතක් කරලා දෙන්න කැමතියි.

එසේම මේ රටේ දින 50ක අරගලය තුළ රාජපක්ෂලා ගැන තිබුණ බොරු කතා සියල්ලම මේ රටේ ජනතාව පරාජය කළා. මහින්ද මහත්තය කියාන්නේ ඕනි කෙනෙක් පරාජය කරගෙන, පෙරළගෙන යන්න පුළුවන් කෙනෙක් කිව්වා නේද? දැන් කවුද අනේ පෙරලුණේ? දැන් කවුද පෙරලුණේ? කිව්වා නේද බැසිල් මහත්තයට ඕනි ගේමක් පාර්ලිමේන්තු ගහන්න පුළුවන් කියලා? කෝ දැන් බැසිල් මහත්තයාගේ ගේම්? ගේම් හමාරයි.. ගෝඨාභය මහත්තය ආවහම රටේ විනය නීතිය හැදෙනවා, ත්‍රස්තවාදීන් ඇතුළු සියලු දෙනාම වලිග පස්ස පැත්තේ ගහගන්නවා කිව්වා, දැක්කා නේද වව්නතිව් වල අපේ පොලිස් නිලධාරීන්ට වෙච්ච දේ.?

මේකෙන් මොකද්ද පේන්නේ? ආර්ථිකය හදනවා කිව්වා. රුපියල නග්ගනවා කිව්වා. ජීවන බර අඩු කරනවා කිව්වා. මහින්ද මහත්තය ආවහම ආශ්චර්ය කරනවා කිව්වා. මොකද උනේ.? දින 50ට පෙනුණේ මොකද්ද? රාජපක්ෂලට දැන් බෑ.. අප්පච්චිට දැන් බෑ... කියල තමයි අපි පෙන්වල දුන්නේ. මහින්ද මහත්තය කිච උණා. පච උණා. බලු උණා. ආයේ රාජපක්ෂලට අපි ඉඩ දෙන්නේ නෑ කියන එක මතක තියාගන්න කියල අපි කියනවා.

ඒ වගේම කියන්න ඕනි අද සමහරු මේ අධිකරණය ලබා දීපු ස්වාධීන තීරණය, ජනතාවගේ නිදහස් මතය, ව්‍යවස්ථාවේ සඳහන් ඒ නීතිය, අවනීතිය බවට පත් කරලා උසාවියට අපහාස කරන්න උත්සාහ කරනවා. මේ රටේ උසාවිය මොකද කිව්වේ? පැහැදිළිව කිව්වා ජනතාවගේ පරාමාධිපත්‍ය පවතින්නේ නීත්‍යානුකූල ආණ්ඩුවකින් මැතිවරණ පැවැත්වුවොත් විතරයි කියලා. හොර ආණ්ඩුවල මැතිවරණ වලින් ජනතාවගේ පරාමාධිපත්‍ය රැකෙන්නේ නෑ කියලා. පහුගිය කාලේ මැතිවරණයක් ඉල්ලගෙන කෑ ගහපු ආගමික, අනාගමික හැමෝටම අධිකරණයෙන් හොඳ උත්තරයක් ලැබිලා තියෙනවා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙන්න ඕනි, අධිකරණයට, පාර්ලිමේන්තුවට, විශේෂයෙන්ම අපේ කතානායක තුමාට, මිරිස්කුඩු ප්‍රහාර ඉදිරියේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් යුක්තියත් ඔසවා තැබුවාට.

ඒ විතරක් නෙවෙයි මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියාන්නේ සල්ලි වලට බාන්න පුළුවන්, පදවි වලට බාන්න පුළුවන්, ඕනි ඕනි අතට නැමෙන මිනිස්සුයි කියල හිතාගෙන හිටපු රාජපක්ෂලාට හොඳ පාඩමක් ලැබුණා පාර්ලිමේන්තුවේ අපේ ගරු මන්ත්‍රීතුමන්ලාගේන්. අසංවර විදිහට, අශීලාචාර විදිහට, රාජපක්ෂලාගේ ජුන්ටාව පාර්ලිමේන්තුවේ හැසිරෙද්දී, ශීලාචාරව, ඒ වගේම ශිෂ්ට සම්පන්නව, විනය ගරුකව පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ කොහොමද, ආණ්ඩු කරන්නේ කොහොමද, කියන එක ගැන ලෝකයටම අපි ආදර්ශයක් ලබාදුන්න බවත් සියලු දෙනාම මතක තබාගත යුතුයි.

අපේ අන්න ඒ තිරසර ශීලාචාරකම තමයි, අපේ අන්න ඒ විනයගරුක බව තමයි, අපේ අන්න ඒ නීතිගරුක බව තමයි මේ ජයග්‍රහණය කරා අපිව ගෙනාවේ කියන කියන එක සියලු දෙනාම මතක තබාගත යුතුයි.

ඒ වගේම මම කියන්න ඕනි, මේ ජනතාවගේ බලය, රැල්ලෙන් රැල්ල පාර්ලිමේන්තුවේ ආපු බහුතර බලය, රැල්ලෙන් රැල්ල අධිකරණයේ ආපු නීතිය, යුක්තිය වෙනුවෙන් වූ බලය, රැල්ලෙන් රැල්ල මහ පාරේ ආපු අපේ ජනතාවගේ බලය අපි ඉදිරියට ගෙනියන්න ඕනි. ඒ ඉදිරියට ගෙනියද්දී, මතක තියාගන්න, හෙල්ලෙන, පෙරළෙන, පාර්ලිමේන්තුවක අපිට මේක කරන්න බෑ. ඒක නිසා අපි පාර්ලිමේන්තුවේ ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරි කාලයේදී ශක්තිමත්ව පිහිටුවාගත යුතු වෙනවා. එතනදී අපි මතක තියාගන්න ඕනි මොකද්ද අපේ අවසාන ඉලක්කය කියාලා. අපේ අවසාන ඉලක්කය ආණ්ඩුවක් පිහිටුවීම පමණක් නෙවෙයි. 2019 අග භාගයේදී ජනාධිපතිවරණයක් එනවා. මේ රටේ තීරක, කඩයිම් ජනාධිපතිවරණයක්. ඒ වගේම ඊට පස්සෙත් මහා මැතිවරණයක් එනවා. මේ ජනාධිපතිවරණය ජයගැනීම තමයි මිත්‍රවරුණි අපේ තිබෙන ප්‍රධානම ඉලක්කය කියන එක මතක තබාගන්න. ඒ වගේම ඒ ජනාධිපතවරණයෙන් පස්සේ අපි ස්ථාවර, ශක්තිමත්, කෙලින් ඉන්න පුළුවන්, දැඩි, දෘඪ පාර්ලිමේන්තු බලයක් ගොඩනගනවා කියන එකත් සියලු දෙනාම තරයේ හිතට ගන්න.

අන්න ඒ අවසාන ඉලක්කය කරා යන්න, මේ ඉදිරි මාස 10 ඇතුළත, අපට සිද්ධ වෙනවා කැපකිරීම් කරන්න. අපිට සිද්ධ වෙනවා ඒ අපි පෙන්නපු, ශීලාචාර, විනයගරුක බව ඉදිරියටත් ආරක්ෂා කරගන්න. ඒක නිසා ඉදිරි ඔබේ ආණ්ඩුවෙන් අපි ගේනවා ජනතාවගේ න්‍යාය පත්‍රයක්. ඒ ජනතා න්‍යාය පත්‍රයේ මුලින්ම තියෙන්නේ මේ රටට වංචා කරපු ඒ වංචාකාරයන්ට දඬුවම් දීමයි කියන එක අපි උස් හඬින් කියනවා.

මහින්ද මහත්තය මේ ආණ්ඩුව අටවා ගන්නකොට හිතුවා නම් පවුලේ අයට එරෙහිව තියෙන නඩුහබ ටික බේරගෙන, නිදැල්ලේ, නිසොල්මනේ, මැදමුලනේ රාජපක්‍ෂලාට 2030 වෙනකං යන්න, එහෙම යන්න දෙන්නේ නෑ. එහෙම යන්න දෙනවද? නෑ.. අපේ පලවෙනි ඉලක්කය රාජපක්‍ෂලාට නීතිය ක්‍රියාත්මක කරලා, ගුවන් හමුදාවේ මිග් යානා වලින් හොරකම් කරපුවා, නාවික හමුදාවේ ඇවන්ගාඩ් වලින් හොරකම් කරපුවා, මෙතන මේ යුධ හමුදා මූලස්ථානයේ, මේ ගෝල්ෆේස් පිට්ටනිය අක්කර 18යි, මෙතන අක්කර 17ක් තුට්ටු දෙකට විකුණලා CSN එකට කප්පම් ගත්ත, යුධ හමුදාවේ මූලස්ථානය විකුණලා කප්පම් ගත්ත, ඒ සල්ලි වලට යුක්තිය ඉෂ්ට කිරීම තමයි අපේ ආණ්ඩුවේ පලවෙනි ක්‍රියාවලිය කියන එක අපි මතක් කරනවා.

ඊළඟට අපේ ජනතාවගේ අද දැවෙන ජීවන වියදමට, ඒ වගේම අපේ ගමේ බිමේ කෙරෙන ජනතාවගේ සංවර්ධනයට මුල්තැන දීම තමයි අපේ ජනතා න්‍යාය පත්‍රය වන්නේ. ඊළඟට මේ රටේ උගත් ජනතාවට, ඒ උගත් ජනතාව මුහුණ දීල තිබෙන ප්‍රශ්න වලට, ඔවුන්ගේ නිවැරදි ඉදිරි ගමනට අවශ්‍ය කරන වටපිටාව සැකසීම තමයි අපේ ජනතා න්‍යාය පත්‍රයේ ඉදිරියෙන්ම තිබෙන අනික් කාරණා කියන එකත් ඔබ හැම දෙනාම මතක තබා ගන්න.

ඒ විතරක් මදි, අපි සියලු දෙනාම ආදර්ශමත්ව, විනයගරුකව, කැපවීමෙන් යුක්තව මේ ඉදිරි මාස 10 අපි කටයුතු කළොත්, නව යුගයක්, ලබන ජනාධිපතිවරණයෙන් එනවා සත්තයි කියන එක ඔබ සියලු දෙනාටම මතක් කරන්න කැමතියි. ඔබ සියලු දෙනාටම මේ බලගතු කඩයිමෙන් ඔබ්බට අවසාන ජයග්‍රහණය දක්වා යාමට ශක්තියත්, ධෛර්යයත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න