ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ මිහින් ලංකා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා සිරිසේන ජනාධිපති කටයුතු කර ඇත.
ඒ අනුව නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වු කාලපරිච්ඡේදය තුළ දී අදාළ සමාගම්වල සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනාධිපති සිරිසේන විසින් 2018 පෙබරවාරි 14 වනදා මෙම කොමිසම පත් කරන ලද අතර, එහි නිල කාලය මෙම දෙසැම්බර් 31 වනදායින් අවසන්වීමට නියමිතව තිබිණි.
අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිසමේ සාමාජිකයන් හමු වූ ජනාධිපතිතුමා එම පරික්ෂණ කටයුතුවල ප්‍රගතිය පිළිබදව විමසා බලා ඇති අතර එහි බලතල වැඩි කිරීමටද ජනාධිපති සිරිසේන කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.
කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයෝ මීට එක්ව ඇත.
පොහොට්ටුව කළබල වෙයි !
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ මිහින් ලංකා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කිරීම ජනාධිපති සිරිසේන ගසනු ලැබූ තවත් දේශපාලන කෙමක් බවය.
මේ වන විට පාර්ලිමේන්තුවේ පමණක් නොව ජන බලයද අහිමිව අපකීර්තියට පත්ව සිටින සිරිසේන ජනාධිපති තවදුරටත් පොදුජන පෙරමුණ පාර්ශව තමන් වෙත රඳවා තබා ගන්නට අපේක්ෂාවෙන් මෙවැනි ක්‍රියාමාර්ග ගන්න බව පැහැදිළි බවත් ඒ සියල්ල පිටුපස ඇත්තේද 2020 ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ බල තණ්හාව බවත්ය.
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ මිහින් ලංකා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ මේ වන විට කුමන්ත්‍රණ ආණ්ඩුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ බරපතල මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධව සෘජු චෝදනා ලබා ඇත. පොදුජන පෙරමුණ සඳහන් කරන ආකාරයට සිරිසේන ජනාධිපති මේ සූදානම් වන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය බියපත්කොට තවදුරටත් මහින්ද රාජපක්ෂගේ සහය තමන් වෙත තබා ගන්නටය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
