මතභේදයට ලක් වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මගින් දේශපාලනඥයන් නම දෙනෙකු ඇතුළු ප්‍රධාන චුදිතයන් කිහිප දෙනෙකුම නම් කරමින් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා මෙන් නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.
කෙසේ වුවත් එම වාර්තා සනාථ කළ නොහැකි බව ද පුවත්පත පවසයි.
මේ අතර බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සහ නිර්දේශ පිළිබඳව ලබන බදාදා (ජනවාරි 03) ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව පවසන්නේ, දෙසැම්බර් 30 වෙනි ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ විමර්ශන කොමිසමේ වාර්තාව පළාත් පාලන මැතිවරණවලට පෙරාතුව ප්‍රකාශයට පත් නොවනු ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙමින් තිබියදීය.
''වාර්තාවේ තොරතුරු වහාම ජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කළ යුතුයි''
ඒ සම්බන්ධයෙන් කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියේ, බැඳුම්කර කොමිසමේ වාර්තාවේ තොරතුරු වහාම ජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු බවයි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පසුගියදා පපුවට අත තබා වංචාව සම්බන්ධයෙන් පොරොන්දු වූ බවත් එවැනි පොරොන්දුවක් ජනාධිපතිවරයා අද සිදුකිරිමෙන් පලක් නොමැති බවත් ඔහු කියා සිටියේය.
එම පොරොන්දුව ජනාධිපතිවරණයේ දී සිදු කළ යුතුව තිබු බව පෙන්වාදුන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ අද ජනාධිපතිවරයා වංචා දූෂණයට එරෙහිව කටයුතු කල යුතු බවයි.
එමෙන්ම සෙසු සාමාජිකයන් මින් ඉදිරියට වංචා දූෂණ නොකරන බවට පොරෙන්දු විය යුතු බවත් ඔහු කියා සිටියේය.

