Language Switcher

V2025

පක්ෂ මුලස්ථානය රැකගන්න සිරිසේන හැමදාම ඩාර්ලි පාරේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාරේ පිහිටි මුලස්ථානය තමන්ට එරෙහි ප්‍රධාන බල කඳවුර බවට පත්ව ඇති බැවින් එය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරන බව ජනාධිපති සිරිසේන පවසා ඇතැයි වාර්තා වෙයි.

ඊයේ (03) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා හමුවේදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තමන්ට එරෙහිව කටයුතු කරන බවත් ඇය සිදුකරන්නේ එක්සත් ජාතික පක්ෂ අවශ්‍යතාව බවද ජනාධිපති සිරිසේන එහිදී පවසා ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙහිදී හිටපු ජනාධිපතිනියව සිරිසේන ජනාධිපති විසින් දැඩිව විවේචනය කර ඇති බවද වාර්තා වෙයි. එසේම මෙහිදී සිරිසේන ජනාධිපති වැඩිදුරටත් පවසා ඇත්තේ පක්ෂයේ සියළු ආසන සංවිධායකයන් නැවත පත්කිරීමට තමන් තීරණය කර ඇති බවත් එම කටයුත්ත ඉදිරි සතිය තුළ අවසන් කිරීමටද අපේක්ෂා කරන බවය.

සිරිසේනව විවේචනය කළ ආසන සංවිධායකයන් දොට්ට !

මේ සම්බන්ධව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඊයේ (03) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සිරිසේන ජනාධිපතිගේ පක්ෂ නායක හැසිරීම විවේචනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නියෝජනය කරන සියළු ආසන සංවිධායකයන් එම තනතුරු වලින් ඉවත් කිරීමට ජනාධිපති තීරණය කර ඇති බවය.

එසේම එම පාර්ශවයට සහයදෙන පාර්ශව සම්බන්ධ ලැයිස්තුවක් ජනාධිපති සිරිසේන විසින් සකස්කර ඇති බවත් එහි සිටින පක්ෂයේ තනතුරු දරන පිරිසද ඉවත් කිරීමට ජනාධිපති තීරණය කර ඇති බවද එම ආරංචිමාර්ග පවසයි.

නායකත්වයේ වෙනසක් වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ කැරැල්ලක් !

මේ අතර ජනාධිපතිවරයා 2020 ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම වෙනුවෙන් පක්ෂය රාජපක්ෂවරුන්ට බිළිවන තැනට කටයුතු කරමින් සිටීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් මතුව ඇති අතර ඊට එරෙහි පිරිස මේ වන විටත් ජනාධිපතිට විරුද්ධව ප්‍රසිද්ධියේ කටයුතු කිරීම අරඹා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය ලෙස මෙයින් එක් පාර්ශවයක් සංවිධානය වී ඇති අතර එහි කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල සම සංවිධායක ජී. එච්. බුද්ධදාස ය. ඔවුන් ඊයේ මේ සම්බන්ධව ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ජනාධිපති සිරිසේන ඉවත්කර පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට නව නායකත්වයක් අවශ්‍ය බව දැඩිව අවධාරණය කෙරිණ.

සිය බල තණ්හාව වෙනුවෙන් සිරිසේන ජනාධිපති බණ්ඩාරනායක ප්‍රතිපත්ති අමුඅමුවේ උල්ලංඝනය කරමින් ඒකාධිපති පාලනයක් පක්ෂය තුළ ගෙනයන බවත් පාක්ෂිකයන් ලෙයින් කඳුලින් දහදියෙන් ගොඩනැගු පක්ෂය ඒ හමුවේ විනාශව යාමට ඉඩදී තව දුරටත් බලාසිටිය නොහැකි බවද ඔවුන් එහිදී දැඩිව කියා සිටිනු ලැබිණ.

මුලස්ථානය රැකගන්න සිරිසේන හැමදාමත් යන්න අරගෙන !

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ජනාධිපති සිරිසේනට එරෙහි පක්ෂ අභ්‍යන්තරයේ මතුව ඇති විරෝධය වඩාත් ප්‍රබලවීම හමුවේ පක්ෂ මුලස්ථානය පවා තමන්ට අහිමිවේය යන දැඩි භීතියක් සිරිසේන ජනාධිපතිට මතුව ඇති බවය.

ඒ නිසාම ඔහු සෑම දිනකම පක්ෂ මුලස්ථානයට පැමිණ හෝරා කිහිපයක් එහි ගතකරන්නට තීරණය කර ඇති බවත් ඒ අනුව පසුගිය දින කිහිපයේ මෙන්ම ඊයේ දිනයේද පක්ෂ මුලස්ථානයට පැමිණ එහි සිදුවන දෑ නිරීක්ෂණය කිරීමට සිරිසේන ජනාධිපති කටයුතු කල බවද එම ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති සිරිසේන පෞද්ගලික නිවාඩුවක් සඳහා තායිලන්තය බලා ගොස් සිටි අවස්ථාවේ පක්ෂ මුලස්ථානය සීල් තබා වසා එහි යතුරු පොලිසියට භාරදී තිබුණේද ඒ භීතිය නිසා බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.