ත්‍රිපෝෂවලට වස ගෙන්වූ සමාගම වරද පිළිගනී !

ත්‍රිපෝෂවලට වස ගෙන්වූ සමාගම වරද පිළිගනී !

'ලංකා ඉරිදා සංග්‍රහය' පුවත්පතේ පසුගිය සතියේ ප්‍රධාන පුවතින් අනාවරණය කරන ලද ත්‍රිපෝෂ නිෂ්පාදනයට භාවිතා කිරීම සදහා ප්‍රමිතියෙන් තොර සෝයා බෝංචි ගෙන්වන ලද එස්බීඑම් ට්‍රේඩින් පෞද්ගලික සමාගම තම වරද පිළිගෙන තිබේ.

රේගුවේ විශේෂ විමර්ශන ඒකකයක නිලධාරීන් කරන ලද දැනුම්දීමකට අනුව, රේගුවට පැමිණි සමාගමේ ප්‍රධානීන් තමන් වරදක් කළ බව පිළිගන්නේ යැයි පවසා තිබේ.

එය නොදැනුවත් කම නිසා සිදු වූවක් බව දිගින් දිගටම හුවාදැක්වීමටද මේ පිරිස උත්සාහ ගෙන ඇත. කෙසේ වෙතත් මේ පිළිබද පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, එහි ප්‍රතිඵල මත අදාළ නීතිවිරෝධී සෝයාබෝංචි කිලෝ ලක්ෂ 300 රාජසන්තක කෙරෙනු ඇති බවත් රේගුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇති ආකාරයට මීට පෙර මේ සමාගම මෙසේ නීතිවිරෝධී ලෙස සෝයාබෝංචි කිලෝ ලක්ෂ 2700 ක් රේගුවෙන් පිටකරගෙන තිබේ. මෙම සමාගමට ශාක නිරෝධායන බලපත්‍ර ඇතුළු කිසිදු අවසර පත්‍රයක් නැති බවත්, ඔවුන් ව්‍යාජ මුද්‍රා යොදාගනිමින් මේ ජාවාරම සිදු කර ඇති බවත් සදහන් කරන රේගුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ඇතැම් ඉහළ නිලධාරීන්ගේද සහාය ලැබී ඇති බවට සැක කරන බවයි.
මේ අතර රේගුවෙන් පිටකර ඇති අදාළ සෝයාබෝංචි කිලෝ ලක්ෂ 2700 ම ත්‍රීපෝෂ නිශ්පාදනයට යොදාගෙන ඇත්ද පිළිබදව වෙනම විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද රේගුවේ ඉහළ නිලධාරියෙක් 'ලංකා ඉරිදා සංග්‍රහයට' පැවසීය.
2015 වසරේ සිට මේ ජාවාරම කිරීමේදී අදාළ සමාගම බදු වංචා රැසක් සිදු කර ඇති බවටද රේගුව තොරතුරු අනාවරණය කරගෙන තිබේ. එසේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් තහවුරු කර සිටියේ මේ සමාගම කිසිදු අවස්ථාවක සෝයාබෝංචි ආනයනය කිරීමට අවසර ගෙන නැති බවයි. සෝයාබෝංචි මෙරටට ගෙන්වීම සදහා අනුමැතිය ඇත්තේ එක් සමාගමකට පමණක් බවත්, ඔවුන්ටද කළ හැක්කේ සෝයා තෙල් නිශ්පාදනය පමණක් බවත් එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.
දැනට රේගුවේ රදවාගෙන ඇති සෝයාබෝංචි කිලෝ ලක්ෂ 300 නීතිවිරෝධී ලෙස නිදහස් කර ගැනීම සදහා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු මුලදී මැදිහත් වීමට උත්සාහ දරා තිබුණද, පසුගිය සතියේ හෙළිදරව්වෙන් පසු මෙතෙක් කිසිවකු ඊට මැදිහත් වී නැත.

(ශාලික විමලසේන)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න