2019 දී ගම්පෙරළියේ පෙරළියක් !

2019 දී ගම්පෙරළියේ පෙරළියක් !

ගම්පෙරළිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය 2019 වසරේ දීප ව්‍යාප්තව විධිමත්ව සහ වේගවත්ව දියත්කළ යුතු බවත් ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට සුවිශේෂී කාර්ය භාරයක් ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ 2019 වසරට අදාළ ගම්පෙරළිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට අදාලව අද (11) මුදල් අමාත්‍යංශයේ පැවති දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ වූ සාකච්ඡාවේදීය.

එක් එක් දිස්ත්‍රික්ක වල මැතිවරණ ආසන මට්ටමින් ගම්පෙරළිය ව්‍යාපෘති දියත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගනිමින් කටයුතු කඩිනම් කරගැනීම සඳහා මේ වන විටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ රන්සිරි පෙරේරාගේ අධ්‍යක්ෂ ධුරයෙන් ගම්පෙරළිය විශේෂ ලේකම් කාර්යාලයක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ වූ ගම්පෙරළිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය ඔක්තෝබර් 26 පත්වූ ව්‍යවස්ථා විරෝධී පාලනය තම පළමු කැබිනට් පත්‍රිකාවෙන් අත්හිටවනු ලැබූ නමුත් ඒ වන විටත් ව්‍යාපෘති රැසක් සාර්ථකව ආරම්භ කරමින් දැක්වූ දායකත්වයට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා පැවසීය.

ගම්පෙරළිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙතෙක් එක් ආසනයක් සඳහා රුපියල් මිලියන 200ක් පමණක් වෙන්කර තිබු නමුත් 2019 වසරේ එක් ආසනයකට රුපියල් මිලියන 300 බැගින් රුපියල් බිලියන 48ක මුදලක් වෙන්කර ඇති අතර ඒ හරහා ග්‍රාමීය සංවර්ධනය අපේක්ෂිත සාර්ථකත්වයට ලඟාකර ගැනීමේ වැඩි වගකීමක් දිස්ත්‍රික් ලේකම්වරුන් සතුවන බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාව සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, භාණ්ඩාගාර ලේකම් ඇතුළු මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන් සහභාගීව සිටියහ.

මෙහිදී ගම්පෙරළිය වැඩසටහනේ පසුගිය ව්‍යාපෘති සම්බන්ධ ප්‍රගති සමාලෝචනයක් ද සිදුකල අතර එහිදී වෙන්කළ මුල්‍ය ප්‍රතිපාදන මුළුමනින් යොදා ගනිමින් සාර්ථකව ව්‍යාපෘති දියත්කළ වව්නියාව සහ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරුන් ඇගයීමටද අමාත්‍ය මංගල සමරවීර කටයුතු කළේය.

එසේම අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමට නොහැකිවූ දිස්ත්‍රික්ක සම්බන්ධවද අමාත්‍යවරයාගේ අවධානය යොමුවූ අතර එහිදී අදාළ ව්‍යාපෘති සම්බන්ධව පවතින බාධා සහ අභියෝග සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

තවද අමාත්‍ය වජිර අබේවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල ද ගම්පෙරළිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය 2019 වසරේ මුළුමනින්ම සාර්ථක කරගැනීම සම්බන්ධව සහ පවතින බාධා ඉවත්කර ගැනීම සම්බන්ධව තම අදහස් දක්වනු ලැබිණ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න