'රාජපක්ෂලාගේ බැඳුම්කරත් පරීක්ෂා කරන්න' - බැඳුම්කර කොමිසම කියයි

'රාජපක්ෂලාගේ බැඳුම්කරත් පරීක්ෂා කරන්න' - බැඳුම්කර කොමිසම කියයි

2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව පරීක්ෂා කිරීමට බැඳුම්කර කොමිසම නිර්දේශකර ඇතැයි ජනාධිපතිවරයා පවසයි.

''මෙම කොමිසමට වරයක් නොතිබුණු හෙයින් එවැන්නක් සිදු නොකළ ද, ඒ ගැන පරීක්ෂා කිරීම සුදුසු බවට කොමිසම නිර්දේශ කරනවා..'' යයි ජනාධිපතිවරයා කියා සිටියේ, බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මූලික කරගනිමින් මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එම කොමිෂන් සභාවේ කටයුතු සඳහා රජයට වැය වූ වියදම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අය කර ගතයුතු බව කොමිසම පෙන්වා දෙන බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකටම එමගින් චෝදනා එල්ල කර තිබෙන බව ද සඳහන් කළේය.

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී 2008 සිටම අයථා කටයුතු සිදු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් අවශ්‍ය බවත් ජනාධිපති බැඳුම්කර කොමිසම නිර්දේශ කර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිෂන් සභාව මීට ඉහතදී තමන්ට ලබා දුන් වාර්තා 17ක් මේ වනවිටත් ඉදිරි පියවර සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන අතර, අඟහරුවාදා තමන්ට ලබා දුන් වාර්තා 17ත් ඉක්මනින්ම නීතිපතිවරයා වෙත යොමු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

rw ms 11අගමැතිගේ වගකීම විධිමත්'

 අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපති තනතුරට පත් කරනු ලැබීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ වගකීම විධිමත් බව බැඳුම්කර වාර්තාවේ සඳහන් වන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

"මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපති තනතුරට පත් කරනු ලැබීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බව බැඳුම්කර වාර්තාවේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමේ දී අග්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහතුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන ලද පොරොන්දු පිළිබඳව විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වෙනවා" ජනාධිපතිවරයා පැවසිය.

 මිලියන 11,000 කට අධික අලාභයක් :

perpetual treasuriesමහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීති විරෝධී ලෙසින් මුදල් උපයාගෙන ඇතැයි බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසිය.

එබැවින් එමගින් රජයට සිදු වූ රුපියල් මිලියන 11,000 කට අධික අලාභය මෙන්ම ජනාධිපති කොමිසම වෙනුවෙන් රජයට වැය වූ මුදල ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යුතුව ඇතැයි කොමිසම නිර්දේශ කර තිබේ.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරියේ මහ බැංකුවේ නිලධාරීන් අකර්මණ්‍ය වී ඇති අතර, හිටපු අධිපතිවරයා බැඳුම්කර නිකුතුවට අයථා ලෙසින් සම්බන්ධ වී ඇති බවත් කොමිසමේ නිගමනය කර ඇත.

"මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තිරණ ගැනීමේ ක්‍රියාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිව යුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙනවා.

 මෙම ක්‍රියාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා" ජනාධිපතිවරයා කොමිසන් සභා වාර්තාව උපුටා දක්වමින් සඳහන් කළේය.

 ප්‍රධාන පක්ෂ දෙකටම චෝදනා :

 කිසිදු දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන තමන් එම කොමිසම පත් නොකළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව මගින් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම සාමාජිකයන් චෝදනා ලබන බව සඳහන් කළ ජනාධිපතිවරයා එබැවින් එය කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගත් ක්‍රියාමාර්ගයක් නොවන බවත් පෙන්වා දුන්නේය.

 "රවිට එරෙහිව නඩු පැවරිය හැකියි"

ravi K1

බැඳුම්කර වංචාවේ දී චෝදනා ලබන්නන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා යටතේ නඩු පැවරීම සඳහා පවතින නීතියේ යම් සංශෝධන සිදුකළ යුතුව ඇතිබව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් ඇති බවත් ප්‍රකාශ කළේය.

 බැඳුම්කර දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබන අර්ජුන් ඇලෝසියස් පවුලට අයත් 'වෝල්ට් ඇන්ඩ් රෝ' සමාගම විසින් 'පෙන්ට්හවුස්' තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීම පැවරෙන හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතාට විරුද්ධව අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු අතර කොමිසන් සභාවට අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතු බව බැඳුම්කර වාර්තාවේ සඳහන් බව ජනාධිපති ප්‍රකාශයේ ඇතුළත් විය.

 (මුලාශ්‍රය - බීබීසී)

 ජනපතිගේ විශේෂ ප්‍රකාශය

වීඩියෝ

 සබැඳි පුවත් :

ග්‍රීක් බැඳුම්කර මගඩිය ගැනත් සොයන්න - එජාපයෙන් බලපෑම්

 එජාපයේ ඉල්ලීම මත රාජපක්ෂලා දඬුකඳේ ගැසීමට ජනපති සැරසේ !

 

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න