Language Switcher

V2025

ග්‍රීක් බැඳුම්කර මගඩිය ගැනත් සොයන්න - එජාපයෙන් බලපෑම්

ඉදිරියේදී පත්කිරීමට නියමිත ජනාධිපති කොමිසමේ රාජකාරි යටතට රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ග්‍රීක් බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් ද විමර්ශනය කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් හරහා මෙම ඉල්ලීම කර ඇතයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එජාප මන්ත්‍රීවරුන් පිරිස මෙම ඉල්ලිම කර ඇත්තේ, මිහින් ලංකා හා ශ්‍රීලන්කන් ආයතන වල සිදුව ඇතැයි කියන දැවැන්ත වංචා හා දුෂණ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා ගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (22) රාත්‍රී පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකයින්ගේ විශේෂ රැස්වීමේ දී කල ප්‍රකාශයෙන් පසුවය.

ග්‍රීක් බැඳුම්කර සිද්ධියේදී රජයට රුපියල් මිලියන 3300ක (රුපියල් බිලියන 3.3) ආලාභයක් සිදුව ඇතැයි ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති එම මන්ත්‍රීවරුන්, යහපාලන රජය යටතේ සිදුවූ බව කියන බැඳුම්කර සිද්ධියේදී සිදුව ඇතැයි පැවසෙන්නේ රුපියල් මිලියන 898ක අලාභයක් බවද සඳහන් කර තිබේ.

ජනමාධ්‍ය වලට තහංචි :

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ග්‍රීක් බැඳුම්කර මිලදී ගැනීම, සේවක අර්ථ සාධක අරමුදල් අවභාවිතය, දේශීය බැඳුම්කර පුද්ගලික මට්ටමින් ලබාදීම ඇතුළු මේ කිසිදු චෝදනාවක් පිළිබඳ විධිමත් පරීක්ෂණ නොපැවැත්වුණු අතර ඒ පිළිබඳ වාර්තා ප්‍රසිද්ධ කිරීම අවුරමින් එකල ජනමාධ්‍ය වෙත තහංචි ද පනවා තිබිණි.

එවක තිබුණු කෝප් කමිටු මගින් ඉදිරිපත් කෙරුණු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරුණු අතර සමහර අවස්ථාවල චුදිතයන් ආරක්ෂා කරලීම සඳහා කමිටුව ක්‍රියා කළ බවට ද පාර්ලිමේන්තුව තුළ චෝදනා නැගිණි.

එසේම දූෂණ චෝදනා නිසියාකාරව සොයා බලන්නට ඉදිරිපත් වූ විජේදාස රාජපක්ෂ වැනි මන්ත්‍රීවරුන්ට කෝප් කමිටු සභාපතිත්වය පමණක් නොව, පක්ෂ සාමාජිකත්වයද අහිමි කරන තැනට වැඩ සැලැස්විණි.

රාජපක්ෂ රෙජිමය එකඟ නොවු බව:

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ඔක්තෝම්බර් මස15 දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුයේ, ග්‍රීක් බැඳුම්කර මගින් රාජපක්ෂ රෙජිමය රටට රුපියල් බිලියන ගණනක් අහිමි කළ බවත් ඒ පිළිබඳව වරදකරුවන්ට දඬුවම් දීම තබා ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමටවත් රාජපක්ෂ රෙජිමය එකඟ නොවු බවයි.

2015දී සිය ධුරය භාරගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම කාර්යය වූයේ නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිව සිටි කාලයේ පෞද්ගලික තැන්පත් කිරීම් පුරුද්ද ඉවත දමා නව සාමූහික රජයේ ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් බැඳුම්කර වෙන්දේසි මගින් විකිණීම වෙතට යොමුවීම බව අගමැතිවරයා එම නිවේදනය මගින් අවධාරණය කර තිබිණ.

පෙර පැවති පාලනයන් මෙන් නොව රජයට හෝ රජයේ නිලධාරින්ට චෝදනා එල්ල වන අවස්ථාවන්හිදි ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට මෙන්ම සොයා බැලිමට රජය සෑම විටම ක්‍රියා කර ඇති බවත් මින් ඉදිරියටත් එම පිළිවෙත අනුගමනය කරන බවටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම නිවේදනය මගින් කියා සිටියේය.

(ශ්‍රී ලංකා මිරර්)

සබැඳි පුවත් :
එජාපයේ ඉල්ලීම මත රාජපක්ෂලා දඬුකඳේ ගැසීමට ජනපති සැරසේ !