එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා අවලංගු වූ පළාත් පාලන ආයතන වෙනුවෙන් ශ්‍රීලනිප සාමාජිකයින් ආධාර කරන පාර්ශවය සම්බන්ධව තවමත් ස්ථිර අදහසකට ඒමට එම පක්ෂයට හැකියාව ලැබී නොමැති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රීලනිපයේ ජේෂ්ට සාමාජිකයන් අතර මේ සම්බන්ධව මතුව ඇති බෙදීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇත.
මහ ලේකම්ගේ මතය
කෙසේ වුවත් මීට පෙර ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු ශ්‍රීලනිප නායකයන් සඳහන් කර සිටියේ පක්ෂය දුර්වල කොට කැබලි කිරීමට අටවා ඇති පාර්ශවයන්ට සහය දෙන මන්ත්‍රීවරුන් පිළිබඳ දැඩි තීන්දුවක් ගන්නා බවය. ජනාධිපතිවරයාද අවස්ථා ගණනකදී මේ බව ප්‍රසිද්ධියේ අවධාරණය කර සිටියේ පක්ෂය කැබලි කරන්නට කටයුතු කරන පාර්ශව වෙත කිසිඳු සහයක් නොදෙන ලෙස ප්‍රකාශ කරමින්ය.
එහෙත් පසුගිය අවස්ථා ගණනකදීම රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා අවලංගු වූ පළාත් පාලන ආයතන වෙනුවෙන් තම පක්ෂයේ සහය පොහොට්ටුවට ලබාදෙන බවය.
ඩිලාන්ගේ පෞද්ගලික මතය
කෙසේ වුවත් මේ සම්බන්ධව මාධ්‍ය සිදුකල කරුණු විමසීමකදී අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන් කර සිටියේ ශ්‍රීලනිප නාම යෝජනා ප්‍රතික්ෂේප
වූ පළාත් පාලන ආයතන වෙනුවෙන් පොදුජන පෙරමුණට සහයදීම සම්බන්ධව තීරණයක් පක්ෂය විසින් ගෙන නොමැති බවත් ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔහුගේ පෞද්ගලික අදහසක් බවත්ය.
පළාත් පාලන අපේක්ෂකයන් දුෂ්කරතාවක
මේ අතර පළාත් පාලන ප්‍රචාර කටයුතු ආරම්භ කර සිටින නිදහස් සන්ධාන අපේක්ෂකයින් සඳහන් කර සිටින්නේ පක්ෂයේ ඉහල පෙළ විවිධ මත දැරීම හේතුවෙන් තමන් ගම්මට්ටමේ දේශපාලන කටයුතු කිරීමේදී දුෂ්කරතාවට පත්ව ඇති බවය. එසේම ඇතැම් ප්‍රදේශ වල පළාත් සභා මන්ත්‍රීවරුන් මැතිවරණ ව්‍යාපාරය කරහැර ඇති බවත් ඒ හේතුවෙන් තමන් විවධ දුෂ්කරතා රැසකට මුහුණදී සිටින බවද ඔවුන් සඳහන් කරයි.

