ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු වූ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වරදක් කර නැතැයි විශේෂ ජනාධිපති කොමිසමේ නිගමනය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවට කොමිසම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ සිය පක්ෂය අනුමත කරන බව ද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ බැඳුම්කර කොමිෂන් සභාවේ නිර්දේශ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග සිය පක්ෂයේ මතය පැහැදිලි කරමිනි.
කොමිසමේ නිර්දේශ පිළිබඳව ඊයේ (දෙසැම්බර් 03) විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, බැඳුම්කර නිකුතුවෙන් රජයට සිදු වූ රුපියල් මිලියන 11,000 කට අධික අලාභය මෙන්ම ජනාධිපති කොමිසම වෙනුවෙන් රජයට වැය වූ මුදල ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යුතු බව කොමිසම නිර්දේශ කර ඇතැයි පැවසිය.
ඒකාබද්ධ විපක්ෂයේ මතය ?

කොමිසමේ නිර්දේශ වහාම ප්‍රකාශයට පත් කළ යුතුයි
ජනාධිපති කොමිසම් වාර්තා ගැන ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය පිළිබඳව සිය ප්‍රතිචාරය පළ කරන ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ, කොමිසමේ නිර්දේශ වහාම ප්‍රකාශයට පත් කළ යුතු බවය.
බැඳුම්කර නිකුතුවේදී සිදු වූ දූෂණ පිළිබඳව පරීක්ෂණ පවත්වන මෙන් ඒකාබද්ධ විපක්ෂය මුල සිටම උද්ඝෝෂණය කළ බව 'බීබීසී සිංහල සේවය' සමග කියා සිටි එහි නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට හෝ ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කළේය.
"එය නීතිපතිවරයාට යවනවා කියන කාරණය පමණක් උචිත වන්නේ නැහැ මොකද නීතිපතිවරයාට මීට කලිනුත් මේ වංචා පිළිබඳ සියලු පැමිණිලි යවල එතන ඒ ගොනුව තාම ගැට ගහල පැත්තකට කරලා තියෙනව," මන්ත්‍රීවරයා පැවසීය.

අගමැතිතුමා රහස් පරීක්ෂකයෙක් නෙවෙයිනේ? පොලිස් නිලධාරියෙකුත් නෙවෙයි. අගමැතිතුමාට මේ තොරතුරු තිබුණේ නෑ."
එම නිර්දේශ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා : "දැන් බොහෝ දෙනා චෝදනා කළේ ගරු අගමැතිතුමා අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීම වැරදියි කියල. කොමිසම පිළි අරන් තියෙනව පත්කිරීම නිවැරදියි, විධිමත් කියල," යනුවෙන් සඳහන් කළේය.
එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන්නේ, ජනාධිපති කොමිසමේ නිගමනය කවරක් වුවත් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයෙකු රටේ කේන්ද්‍රීය මූල්‍ය ආයතනයේ ප්‍රධානී තනතුරට පත්කිරීම බරපතල වැරැද්දක් බවය.
එම තර්කය බැහැර කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා පවසන්නේ මහ බැංකු ප්‍රධානී පදවියට විදේශිකයන් පත්කිරීම ලොව පුරා වෙනත් බොහෝ රටවල ද සිදු වී තිබෙන බවය.
''අගමැතිතුමාට මේ තොරතුරු තිබුණේ නෑ."
මහ බැංකුවේ අභ්‍යන්තර රහසිගත කටයුතු පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ හෙළි වූ බොහෝ තොරතුරු පිළිබඳව අගමැතිවරයාට පූර්ව අවබෝධයක් නොතිබුන බැවින් අගමැතිවරයා තමන් යටතේ සිටින නිලධාරීන් පිළිබඳව විශ්වාසය තැබීම වැරැද්දක් නොවන බව ද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගේ මතයය.
"අගමැතිතුමා රහස් පරීක්ෂකයෙක් නෙවෙයිනේ? පොලිස් නිලධාරියෙකුත් නෙවෙයි. අගමැතිතුමාට මේ තොරතුරු තිබුණේ නෑ."
බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ පූර්ණ වාර්තාව තවමත් ප්‍රකාශයට පත් වී නොමැති බැවින් සමස්ත වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි වුවත්, රවි කරුණානායක මන්ත්‍රීවරයා සම්බන්ධ නිර්දේශය හැරුණු විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ප්‍රකාශයේ සඳහන් වූ සියලු නිර්දේශ තමන් ද සාමාජිකත්වය දරන කෝප් කමිටුවේ ද නිර්දේශ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
2008 සිට පරීක්ෂණයකට ඒකාබද්ධ විපක්ෂය එකඟද?
2015 මාර්තු මාසයේ දී සිදු වූ බැඳුම්කර නිකුතුව පමණක් නොව 2008 සිට මේ දක්වා සිදු කළ බැඳුම්කර නිකුතුවලදී සිදු වූ වංචා සොයා බැලිය යුතු බවට එක්සත් ජාතික පක්ෂය මතු කළ තර්කය කෝප් කමිටු වාර්තාව නිකුත් කිරීමේදී මතු වූ මතභේදයට හේතුව බව ද ඔහු සඳහන් කළේය.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මගින් ද එය අනුමත කරනු ලැබ තිබේ.
විශේෂයෙන්ම 2008 සිට සේවක අර්ථසාධක රමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳව වෝහාරික විගණනයක් හා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට කොමිසම නිර්දේශ කර තිබේ.
2008 සිට සිදු වූ බැඳුම්කර නිකුත් පරීක්ෂා කිරීමේ නිර්දේශයට එකඟ වන්නේ දැයි බීබීසී සිංහල සේවය දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, "ජේආර් ජයවර්ධන යුගයේ සිට" සිදු වූ බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් ද අවශ්‍ය නම් පරීක්ෂණ කළ හැකි බවය.
කෙතරම් පරීක්ෂණ සහ විමර්ශන පැවැත්වුවත් එදා මෙදා තුර එම පරීක්ෂණවල වාර්තා ප්‍රකාශයට පත් නොකිරීම බරපතල ප්‍රශ්නයක් බව ද ඒකාබද්ධ විපක්ෂයේ නායකයා පැවසීය.
නීතිමය පියවර:
ඔහු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පදවි දැරූ රාජපක්ෂ පාලනයට ද එම චෝදනාව අදාළ වන්නේ නොවේ දැයි විමසූ විට දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ රාජපක්ෂ පාලනය පරණගම කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත් කළ බවය.
කිසියම් ලෙසකින් ආණ්ඩුව බැඳුම්කර කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත් නොකරන්නේ නම් එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සමස්ත කැබිනට් මණ්ඩලයම අදාළ වංචාව සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු බව ද ඒකාබද්ධ විපක්ෂයේ නායකයා අවධාරණය කළේය.
මහ බැංකු බැඳුම්කර වංචාව ශ්‍රී ලංකාවේ මුදලේ අගය සහ ආර්ථික ස්ථාවරභාවය හා බැඳුනු "බරපතල ප්‍රශ්නයක්" බව ද දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස් ඇතුළු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නිලධාරීන් සහ හිටපු අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් කොමිසම කරන නිර්දේශය අනුමත කරන්නේ දැයි විමසු අවස්ථාවේ නීතිඥ අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ, "අනිවාර්යයෙන්ම," යන්නය.
"නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක විය යුතුයි," ඔහු පැවසීය.
"රටේ නීති ප්‍රමාණවත් නැත්නම් මේ අහිමි වූ මුදල් ආපසු ඇය කර ගන්න, ජනාධිපතිතුමා කියපු ආකාරයටම විශේෂිත පනතක් මගින් ක්‍රියාදාමයක් ආරම්භ කළ යුතුයි. ඒක කළ යුතුමයි."
කොමිසමේ නිර්දේශ පිළිබඳව විමසීම සඳහා රවි කරුණානායක මන්ත්‍රීවරයා ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.
(මුලාශ්‍රය- බීබීසී සංදේශය)

