Language Switcher

V2025

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන ලෙස සිරස- මහරාජා මාධ්‍ය ජාලයට සංඛ්‍යාත ලබාදීම සහ නාවික හමුදාවේ කමිටු තුනක් විසින් ප්‍රතික්ෂේප කළ දුෂිත ගනුදෙනුවක් බවට මහත් ආන්දෝලනයක් ඇතිවූ රුසියානු යුද නැව ගැනීමට හැකිනම් වැදගත් බව දේශපාලන විචාරකයන් පෙන්වාදෙයි.

2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට ජනපති සිරිසේන කටයුතු කර තිබීම සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව පවසයි.

ඉහත කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ කි‍්‍රයා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතය සහ එකී වරදවල් සහ වැරදි කි‍්‍රයාවන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම්වලට, රාජ්‍ය ආදායමට බරපතළ අලාභ හෝ හානි සිදුවී තිබීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයින් හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන් හි නිලධාරින් වශයෙන් සේවයේ නිරත ව සිටි සහ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරයයි.

එබඳු වරදවල් සම්බන්ධයෙන් නිතී ප‍්‍රකාරව වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හඳුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීම ද මෙම කොමිෂන් සභාව හරහා සිදු වේ.

ඒ අනුව විචාරක මතය වී ඇත්තේ මේ හරහා ජනාධිපති සිරිසේනගේ දූෂණ විරෝධය ඔප්පු කිරීමට සහ ඔහු සම්බන්ධව තිබෙන චෝදනා හමුවේ නිර්දෝෂී වීමට මේ හරහා අවස්ථාව හිමිවන බවත් නැතිනම් මේ තවත් මහජන මුදල් නිකරුණේ වැයකරන තවත් දේශපාලන ව්‍යාපෘතියක කොටසක් බවට මෙම කොමිසම පත්වනු ඇති බවය.

මෙම ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ‍්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරළේ ආරචිචිගේ පේමතිලක, විශ‍්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා, විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඩී. විජය අමරසිංහ එහි සෙසු සාමාජිකයන් වෙයි.

එහි පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට උපදෙස් දී තිබේ.