පොලිසියට එරෙහිව වධ හිංසා චෝදනා !

පොලිසියට එරෙහිව වධ හිංසා චෝදනා !

ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාව පෙන්වා දෙයි.

බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම, 2017 පසුගිය වසරේ මුල් කාර්තු තුනේ දී ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව පැමිණිලි දහසකට (1000) වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි ප්‍රකාශ කළාය.

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, සිර භාරයේ තබා ගැනීම් සහ වධහිංසාවන්ට ලක් කිරීම් එම පැමිණිලි අතර ප්‍රමුඛස්ථානය ගන්නා බවත් සභාපතිවරිය පවසන්නීය.

 "පැමිණිලි 1000කට වැඩි සංඛ්‍යාවක්"

2017 වසරේ මුල් කාර්තු තුනේ දී වධහිංසාවන්ට ලක් කිරීම් පිළිබඳව පැමිණිලි 249 ක්ද, තර්ජනය කිරීමට අදාළ පැමිණිලි 323 ක් සහ අත්ත නෝමතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 298 ක්ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට ලැබී ඇත.

එම පැමිණිලිවලින් බහුතරය පොලිසියට එරෙහිව ඒවා වන අතර තවත් සමහරක් උතුරු නැගෙනහිර බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් වූ ඒවා බවත් මානව හිමිකම් කොමිසම පවසයි.

"මානව හිමිකම් පිළිබඳ තත්වයේ ඉතා හොඳ ප්‍රගතියක් අපි දකිනවා. භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස වර්ධන වී තිබෙනවා, ඇත්ත වශයෙන්ම භීතියේ සංස්කෘතිය බොහෝ දුරට නැති වෙලා. නමුත් අපට තියෙන ප්‍රශ්නය තමයි පොලිසියේ ක්‍රියාමාර්ග නිසා මානව හිමිකම් කඩවීම" ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය.

පොලිස් විමර්ශන සඳහා වධහිංසා යොදාගැනීම ගැන පැමිණිලි රැසක් ලැබී ඇතැයි ප්‍රකාශ කළ මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය, ඇතැම් පැමිණිලි පරික්ෂා කර ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ගැන පොලිසියට නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළාය.

 ''පොලිසිය දැඩි ලෙස ප්‍රතිසංවිධාන කළ යුතුයි''

පොලිසියේ කටයුතු ගැන දෛනික මට්ටමින් පැමිණිලි ලැබෙමින් පවතින බව පැවසූ සභාපතිනිය, එම තත්වය මඟහැරීම සඳහා පොලිසිය දැඩි ලෙස ප්‍රතිසංවිධාන කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් විදේශීය විශේෂඥයන්ගේ සහයෝගය ලබා ගනිමින් අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට පොලිසිය සුදානම් වන බවත් කියා සිටියාය.

පසුගිය දෙසැම්බර් මාසයේ දී කැබිනට් මණ්ඩලය යහපාලන මූලධර්ම ගුරු කොට ගත් අභිමානවත් වෘත්තියක් බවට ශ්‍රී ලංකාවේ පොලිස් සේවය පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව මත පොලිස් සේවය ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් හසළ පළපුරුද්දක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් හියු ඕඩ් (Sir Hugh Orde) ගේ සේවය ලබාගැනීමට තීරණය කර තිබුණි.

දිවුලපිටිය පොලිස් අත්අඩංගුවේ සිටිය දී පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සැකකරුවකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් දිවුලපිටිය පොලිසියේ හිටපු වැඩබලන ස්ථානාධිපතිවරයා බදාදා (ජනවාරි 03) අත්අඩංගුවට ගනු ලැබුණි.

(බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න