බලශක්ති අර්බුදය විසදීමට ඇමැති රවී වැඩට බසියි : ප්‍රථම වතාවට ලංකාවට කෘතිම වැසි !

බලශක්ති අර්බුදය විසදීමට ඇමැති රවී වැඩට බසියි : ප්‍රථම වතාවට ලංකාවට කෘතිම වැසි !

වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

තායිලන්ත රජයේ තාක්ෂණික ඥාණය උපයෝගී කරගනිමින්, ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීම නියමිත මෙම කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ගුවන් යානා සැපයීමට එකගවී තිබේ.

ඒ අනුව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (23) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එම්.එස්. බටගොඩ සහ ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ගිවිසුමට අත්සන් තබන ලදී.

මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක,

"වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථා වලදී ගුවන්යානා දෙකක් මගින් වලාකුළු උපයෝගී කරගනිමින් කෘතීම වැසි ඇති කිරීමට අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරොත්තු වෙනවා. මේ සදහා අපට තායිලන්ත රජය විසින් තාක්ෂණික ඥාණය ලබාදෙනවා. වියළි කාලවලදී ජල විදුලිය ජනනයට ඇතිවන අපහසුතා මගහරවා ගැනීම සදහා බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ගේ වළාකුළු ඇති කර මෙම කෘතීම වැසි ඇති කිරීමට පියවර ගන්නවා.

ප්‍රථම වතාවට තමයි ලංකාවේ මෙවැනි ක්‍රමයක් ඇති කරන්නේ. ඒ නිසා මේ අද අත්සන් කළේ ඓතිහාසික ගිවිසුමක්. මේ දක්වා ලංකා විදුලිබල මණ්ඩලය වැසි රහිත කාලගුණික තත්ත්වයන් මත ජල විදුලි උත්පාදනය සීමා වීමේදී, විදුලි ජනනය පුද්ගලික අංශය මගින් සිදුකිරීමට යාමෙන් අධික අලාභයක් ලබා තිබෙනවා. මේ නව කෘතීම වැසි ක්‍රමය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ එම අලාභය අවම කරගැනීමට හැකිවේවි. අපි මෙම ව්‍යාපෘතිය ලබන මස අග වනවිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා."

50442611 1228373357310569 2704691341815709696 n

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න