බැඳුම්කර ජනාධිපති කොමිසමට අදාළව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ එකම අපේක්‍ෂාව වුයේ අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහව චෝදනාවලින් නිදහස් කර ගැනීම බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග සඳහන් කරයි.
මේ වන විට නිකුත් කර ඇති එම කොමිසමේ අවසන් නිර්දේශ ඇතුළත් වාර්තාව මෙන්ම ජනාධිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය හරහා ඒ බව තහවුරු වන බවත් බැඳුම්කර වංචාවට සම්බන්ධ සැබෑ වරදකරුවන් සගවා වෙනත් කණ්ඩායමකට වරද පටවා බැඳුම්කර වංචාව යට ගැසීමක් ඒ හරහා සිදුව ඇති බවද ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
පසුගියදා පොදුජන පෙරමුණේ උඩුගම්පල කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ අදහස් දැක්වීම සිදුකල අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනතාව සැක කරපු විදිහටම ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසම දියාරු කල බවත් එම වාර්තාව ජනතාව රැවටීමක් වූ බවය.
එසේම අදාළ සිදුවීමට රාජපක්‍ෂවරයෙකුගේ නමක් ගෑවී තිබුණා නම් මීට වෙනස් ප්‍රතිඵලයක් ලැබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව අප කල කරුණු විමසීමකදී රජයේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ 2008 වසරේ සිට සිදුවූ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සොයා බලන ලෙසට බැඳුම්කර කොමිසම සිදුකර ඇති නිර්දේශය හමුවේ රාජපක්ෂවාදීන් භීතියට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයා ඉලක්කන් කර අදාළ වාර්තාව අඩු තක්සේරු කිරීමේ උත්සාහයක පොදුජන පෙරමුණ සහ ඒකාබන්ධ විපක්ෂයේ පාර්ශව කටයුතු කරමින් සිටින බවය.
එසේම යහපාලන ජාතික ආණ්ඩුව මේ වන විට අදාළ කොමිෂන් වාර්තාව නීතිපතිවරයාට යොමුකර ඇති බවත් ඒ හැර රාජපක්ෂ සමය මෙන් කාගේවත් පෞද්ගලිකන් දේශපාලන ව්‍යාපාරයක් පෝෂණය කර ගැනීම වෙනුවෙන් එය සේවය නොකර ඇති බවද රටේ එම නිවේදනයේ සඳහන්ව ඇත.

