ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට තමන්ට බලයක් තිබේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 11 වන දා ප්‍රකාශ කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(31) දැනුම්දී ඇත.
සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම දැනුම්දීම කර තිබේ.
රාජපක්ෂ රෙජීම පාලන සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
මෙම නඩුව ඉකුත්දා විභාගයට ගත් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් ඊට මූලික විරෝධතාවක් මතු කර තිබුනේ අදාළ නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව සඳහන් කරමින්ය.
තිබුණි.
එහෙත් ඊට අද දින ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියා සිටියේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුකූල නීතිමය ආයතනයක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුකර ඇති බවය.
මෙම අධිකරණය හමුවේ සෘජුවම නඩු පැවරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවත් නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කොට ඒ පිළිබඳව අගවිනිසුරුවරයා සෑහීමකට පත් වී අනුමැතිය ලබා දෙන්නේ නම් පමණක් මෙම මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයාට හැකියාව තිබෙන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම නඩුවද පවරා ඇත්තේ අගවිනිසුරුවරයා විසින් නිකුත් කර ඇති විධානයට අනුව බැවින් මෙම නඩුව අසා නිම කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් පවතින බවද රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නේය.
මෙම නඩුව විභාග කොට තීන්දුවක් ලබාදෙන ලෙස අගවිනිසුරුවරයා විධානයක් පනවා ඇති බැවින් ඊට පිටුපා කටයුතු කිරීමට මෙම විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඊට ප්‍රතිචාර දක්වමින් විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ මෙම විශේෂ මහාධිකරණය පිහිටුවීමේ අරමුණ වන්නේ බරපතළ ආර්ථික සහ මූල්‍ය අපරාධ වලට අදාළ නඩු විභාග කිරීම බවයි.
අධිකරණ සංවිධාන සංශෝධන පනතේ 6 වන උපලේඛනයේ සඳහන් වන සියළුම වැරදි මෙම අධිකරණය හමුවේ විභාග කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ජාතික ආර්ථිකයට දැඩි හානිකර බරපතළ ලෙස ආර්ථික වැරදි පමණක් මෙම අධිකරණය හමුවේ විභාග කළ හැකි බවත් මෙම නඩුව සාමාන්‍ය මහාධිකරණය හමුවේ විභාග විය යුතු නඩුවක් බවත් පෙන්වා දුන්නේය.
ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව මෙම අධිකරණය හමුවේ විභාග කිරීමට සුදුසු නඩු කටයුත්තක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයාට එරෙහිව පොදු දේපල පනත යටතේ ආධාර අනුබල දීම යන චෝදනාව මෙම අධිකරණය හමුවේ ගොනු කිරීමට හැකියාවක් නොමැති බව ද සඳහන් කළේය.
මෙම නඩුව විභාග කරන මෙන් අගවිනිසුරුවරයා විසින් විධානයක් ලබා දී තිබුණත් මෙම නඩුව විභාග කිරීමට තමන්ට බලයක් තිබේද යන්න තීන්දු කළ යුත්තේ විශේෂ මහාධිකරණය විසින් බව සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම අධිකරණයේ විනිසුරුවරුන්ගේ පත්කිරීම් තමන් කිසිසේත්ම අභියෝගයට ලක් නොකරන බවත් ඔවුන්ට ගරු කරන බවත් සඳහන් කර සිටියාය.
රාජපක්ෂ වරයෙකු වූ පමණින් නීතිය අභිබවා ගොස් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පැමිණිල්ලට හැකියාවක් නොමැති බවත් එබැවින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අනතුරුව මෙම මූලික විරෝධතාව පිළිබඳ නියෝගය ලබන 11 වනදා. ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
ඉන් අනතුරුව අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණයට පැමිණෙන සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන්නැයි ඉල්ලීම් කළේය.
අධිකරණ භූමියේ යනු මාධ්‍ය සංදර්ශන පවත්වන ස්ථානයක් නොවන බව තමා පසුගියදා ප්‍රකාශ කළ අතර ඒ තුළින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කප්පාදු කෙරෙන බවට විත්තියට සම්බන්ධ නැති එක්තරා නීතිවේදියකු විසින් ප්‍රකාශයක් සිදුකර ඇති බවත් එවැනි ප්‍රකාශ නැවතීම සඳහා නියෝගයක් නිකුත් කර ලෙසත් ඉල්ලා සිටියාය.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ද සඳහන් කර සිටියේ තම පාර්ශවය විසින් එවැනි අදහසක් කිසිසේත්ම පළ කර නොමැති බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සදහන් කර සිටියේ විත්තියේ නීතිඥවරුන් විසින් එවැනි චෝදනා එල්ල නොකරන බවත් ඔවුන්ගේ කටයුතු අගය කරන බව සඳහන් කර සිටියේය.
මෙහිදී සභාපති විනිසුරු සම්පත් අබේකෝන් විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ අධිකරණයට පැමිණෙන සෑම පාර්ශවයක්ම තමන්ගේ සහ අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කරනු ඇතැයි අධිකරණය අපේක්ෂා කරන බවයි.
සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් දක්වන කරුණු තමන් ද පිළිගන්නා බව කී සභාපති විනිසුරු සම්පත් අබේකෝන් අවශ්‍යතාවක් මතු වූවොත් සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තකා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට අධිකරණය පියවර ගන්නා බවද පැවසීය.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති , ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.
ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

