ඒකාබද්ධ විපක්ෂය යනු පුළුල් සන්ධානයක් බවත් අලුතින් ම ඊට එකතු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (31) මහවැලි කේන්ද්‍රයේ පැවති පොත් එළිදැක්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එහිදී නව පුළුල් සන්ධානයක් බිහිකිරීම සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ එම සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කරමින් සිටින බවත් එහි වගකීම් භාරදී කමිටුවක් ද පත් කර ඇති අතර ඒ කෙසේ වුවත් දැනටත් තමන් ක්‍රියාත්මක වන්නේ සන්ධානයක් වශයෙන් බවත්ය.
එසේම වත්මන් ආණ්ඩුව සහ ජනාධිපති සිරිසේන අතර ගැටුමක් පවතින බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නව පක්ෂයක් ගොඩනැඟීමේ උත්සාහයක නිරත වන බවට පැතිර යන පුවත් සම්බන්ධයෙන් තමන් ඊට සුබ පතන බවද ඔහු පැවසීය.

