එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයීය මගපෙන්වීමෙන්, 83 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික දමිළ සරණාගතයින් පිරිසක් පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට දිවයිනට ළඟාවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
සියලූම ශ්‍රී ලාංකිකයින් අතර සාමය සහ සංහිදියාව ගොඩ නැංවීම සඃදහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට වත්මන් රජය කැපවී සිටින අතර ඒ අනුව යුධ සමයේ රට හැරගිය සියලූම පුරවැසියන්ට නැවතත් සිය රට බලා පැමිණෙන ලෙස රජය විසින් විවෘත ආරාධනයක් කර ඇත. එහි ප්‍රතිඵලයක් දෙස එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මෙසේ ස්වේච්ඡාවෙන් සිය රට බලා පැමිණෙන ශ්‍රී ලාංකික දමිළ සරණාගතයින් සඳහා පහසුකම් සැළසීමට ඉදිරිපත් වී සිටියි.
ඉන්දියාවේ තමිල්නාඩු සරණාගත කදවුරුවලින් 2009 සිට මේ දක්වා දමිළ සරණාගතයින් 11,020ක් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර තවත් 3815 දෙනෙකු එසේ මව් රටට පැමිණීමට සිය කැමැත්ත පළ කර තිබේ. මෙසේ පැමිණෙන දමිළ සරණාගතයින් වවුනියාව, මන්නාරම, මාතලේ, මුලතිව්, ත්‍රිකුණාමලය සහ යාපනය ආදී තම ගම් බිම්වල නැවතත් පදිංචි කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලැබේ.
එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ඔවුන් සඳහා නොමිලේ ගුවන් ටිකට් පත් ලබාදීම සිදු කරන අතර මෙසේ සිය රට බලා පැමිණෙන සරණාගතයින්ට මාස 6ක කාලයක් පුරා වියළි ආහාර ලබාදීමට ද උපරිම රුපියල් ලක්ෂයක් දක්වා වූ ජීවනෝපාය සහනාධාරයක් ලබාදීමට ද රජය කටයුතු කරයි.

