Language Switcher

V2025

චාල්ස් මහත්මියට වහං වෙන්න යන : රේගුවේ ඔපරේෂන් බීඩි කොළ !

ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් චාල්ස් මහත්මියට ස්ථාන මාරුවක් ලබාදී එම ධූරයට විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත්කිරීම පසුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක්වූ පුවතක් විය.

රේගු වෘත්තීය සමිති කිහිපයක් විශේෂයෙන් ප්‍රසිද්ධියේ පොහොට්ටු දේශපාලනයේ නිරත සුදත් සිල්වා වැනි නිලධාරීන් චාල්ස් මහත්මියගේ ස්ථාන මාරුව ගැන දැක්වූයේ මාරාන්තික විරෝධයක් ය. ඔවුන් උස් හඩින් කීවේ මංගල ඇමැති ඇතුළු එජාපෙ ආණ්ඩුව රේගුව වනසන්න සූදානම් වන බවය. තමන්ගේ මේ මාරාන්තික පෙනී සිටීම රේගුව රකින්න බවය.

මේ කවුද මොනවද කරන්නේ යන්න නොදන්නා ඕන අයෙකු සිතන්නේ අම්මට සිරි රේගුව ඉවරයි කියාය. ඉහත රංගනයේ නිරත බොහෝ දෙනෙක් බෙහෙත් බොන්නේ උගුරටත් හොරා නිසා සාමාන්‍ය ජනතාව එවැනි දේ සිතුවාද වැරදි නැත.

එහෙත් අවධාරණයෙන් කිවයුතු දෙයක් ඇත. ඒ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ස්ථාන මාරුව යනු රේගුවේ අවසානය ලෙස යමෙකු සිතුවා නම් ඒ සිතීම රේගු ගේම් ගැන නොදන්නා කම නිසා මතුවන්නක් මිස රේගුව රකින්න එවැනි සිගිති සිතුවිලි කොහෙත්ම ප්‍රමාණවත් නොවන බවය.

පසුගිය දිනක රේගුවේ සිදුවූ අපූරු රේගු ගේමක් ගැන අනාවරණය කරන්න අප සිතුවේද ඒ නිසාය.

ඔපරේෂන් බීඩි කොළ !

ඉතාම මෑතක දිනක රුපියල් මිලියන 45කට අධික වටිනාකමකින් යුතු බීඩි කොළ කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් අත්අඩංගුවට ගනියි. කන්ටේනරය ගෙන්වූ බවට චෝදනා පිට පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටියි. අදාල කන්ටේනරය අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් මැදිහත්වූ නිලධාරීන් පිරිසක් එම බීඩි කොළ නැවත විකිණීමේ මුදලින් 80% කට හිමිකම් කියා ඇත.

මේ රේගු අත්අඩංගුවට පත්වූ බීඩි කොළ කන්ටේනරය මෑතක අත්අඩංගුවට ගනුලැබූ මිල අධිකම බීඩි කොළ කන්ටේනරය වෙයි.

චැප්ටර් ක්ලෝස් නැත !

රේගු ගේම් නොදන්නා ඔලුවකට මේක තවත් එක් වැටලීමක් වෙන්න පුළුවන. නැතිනම් අවංක නිලධාරීයකුගේ මාර ඔපරේෂන් එකක් වෙන්න පුළුවන. නමුත් පරිච්ඡේදය එතැනින් අවසන් වෙන්නේ නොදන්නාකම නිසාය. ඒ මේ අත්අඩංගුවට ගැනීමම සහ පසුව තිරය පිටුපස වන සැබෑ රේගු ගේම නොදන්නාකමය. එනිසාම නම් ගම් සහිතව ඒ ගැන ලියන්න අපට සිත්විය.

බීඩි කොළ කන්ටේනරයේ රේගු ගේම !

මේ වන විට අනාවරණය වී ඇති ආකාරයට අදාළ බීඩි කොළ කන්ටේනරය මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍යව ඇත්තේ වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුය. ඔහු අදාළ කර්මාන්තයේ නිරත බැවින් බාන්නත් පෙර බඩු මාට්ටු වන බව දන්නා නිසාම ඒ සඳහා තවත් පාර්ශවයක සහය පතා ඇත.

මේ කියන රේගු ගේම "on" වන්නේද එතැන් සිටය. එහිදී තිදෙනෙක් මේ කටයුත්ත භාරගෙන ඇත. මෙම කන්ටේනරය අත්අඩංගුවට ගැනීමට මුල්ව ක්‍රියාකළ නිලධාරියකුද ඒ අතර වන අතර අනෙක් දෙදෙනා වන්නේ විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයෙකු සහ තවත් යාපාරිකයකුය.

විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයා සහ ව්‍යාපාරිකයා ඒ වන විට ව්‍යාපාරික හවුල් කරුවන් වන අතර ඔවුන් දෙදෙනා එකතුව air ticketing ආයතනයක්ද පවත්වාගෙන යයි. එම කාර්යාලය ජනාධිපති මන්දිරය අසල මුදලිගේ මාවතේ පිහිටා ඇත. මේ වන විට රේගු කාර්යයේ නිරත නිලධාරියාද මේ කටයුත්ත සඳහා එක්වන්නේද එම කාර්යාලයේදීය. ඒ බව අප වගකීමෙන් සඳහන් කරන අතර අදාළ කාර්යාලයේ CCTV දර්ශන ඊට සාක්ෂි දරනු ඇත.

ඒ අනුව තිදෙනාගේ සැලැස්ම වූයේ අදාළ බීඩි කොළ කන්ටේනරය ඇඟලුම් ලෙස නම් කර "sea to air" ක්‍රමයට ලංකාවට ගෙන ඒමය. එනම් මුහුදෙන් ගෙනවිත් යළි ගුවන් හරහා අපනයනය කරන ඇඟලුම් කන්ටේනරයක් ලෙස එය මෙරටට ගෙන ඒමය.

එහිදී වත්තල ව්‍යාපාරිකයා වෙනුවෙන් මෙම කටයුත්තට මැදිහත්වන ව්‍යාපාරිකයා විසින් රේගුවේ විශ්‍රාමික නිලධාරියා සහ රේගු නිලධාරියා පොරොන්දු වන්නේ අදාළ කන්ටේනරය වත්තල ව්‍යාපාරිකයාගේ ස්ටෝරුවට ගොඩබෑමට පෙර පොරොන්දු මුදල් ගෙවන බවය.

චිත්‍රපටියක් වගේම වූ සිදුවීමක් !

ඒ අනුව මේ අප දකින්නේ අත්අඩංගුවට ගනුලැබූ බීඩි කන්ටේනරය ඇඟලුම් කන්ටේනරයක් ලෙස මෙරටට ගෙන්වීමට කූඨ සැලැස්මේ මහමොළයක් වූ නිලධාරියා පසුව එම කන්ටේනරය අත්අඩංගුවට ගැනීම සහ එහි විමර්ශන නිලධාරියකු වන ආකාරයේ මාරාන්තික දර්ශනයයි.

ක්‍රියාදාම චිත්‍රපටයක් වැනි වුවත් මේ සිදුවීම සැබවින්ම සිදුවූ බව අප තොරතුරු මුලාශ්‍ර සඳහන් කරයි. ඒ බව වඩාත් තහවුරු කරන්නේ මෙම සිදුවීම් පෙළේ ඊළඟ කොටස විසින්ය.

කන්ටේනරයේ ඇත්තේ බීඩි කොළය. නමුත් එහි සඳහන්ව ඇත්තේ ඇඟලුම් බවය. සැබවින්ම මේ කන්ටේනරය වත්තල වෙත ගෙනයාම සඳහා අවශ්‍ය ලියකියවිලි සම්පාදනය කරන්න මැදිහත් වන්නේ හිටපු රේගු අධ්‍යක්ෂවරයාගේ ගෝලයන් දෙදෙනෙකු ලෙස සිටින වාප්පු නිලධාරීන් දෙදෙනෙකුය. අදාළ විමර්ශන වලදී මෙම පුද්ගලයන් දෙදෙනා තමන් විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයාගේ දැනුම්දීම අනුව මෙම කන්ටේනරය නිදහස් කරගන්නට කටයුතු කළ බවට ප්‍රකාශ පවා ලබාදී ඇත.

නමුත් ඇඟලුම් ලෙස පැමිණ වත්තලදී බීඩි කොළ බවට පත්වූ මේ කන්ටේනරයට අදාළ විමර්ශන වලදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන නොමැත. එපමණක් නොව මේ සඳහා තමන් මෙහෙයවූ බවට ඉහත පුද්ගලයන් සඳහන් කළ විශ්‍රාමික රේගු නිලධාරියාව අත්අඩංගුවට ගැනීමක් සිදුකර නැත. ඒ ප්‍රාතිහාර්යය මොකක්ද යන්න දැනගන්න නම් air ticketing කාර්යාලයේ CCTV දර්ශන බැලිය යුතුම බව මිස ඊට වඩා දෙයක් අප යෝජනා කරන්නේ නැත.

කඩවුණ පොරොන්දුවක් නිසා රේගු ගේම චේන්ජ් වුණා !

කෙසේ හෝ වේවා මේ වැඩේට අදාළ පාර්ශව වෙතින් දැන් අත්අඩංගුවට ගෙන ඇත්තේ air ticketing ආයතනයේ ව්‍යාපාරිකයා පමණය. ඒ අදාළ කන්ටේනරය ඔහුගේ නමට මෙරටට පැමිණි නිසාය. රේගු ගේම් වල මැජික් එක නම් අදාළ කන්ටේනරය වරායෙන් නිදහස් කරගැනීමට බොරු ලියවිලි සකස්කර වාප්පු නිලධාරීන් මෙහෙයවූ විශ්‍රාමික නිලධාරියා විමර්ශන වලදී වාෂ්පවී සිටීමය.

කෙසේ වෙතත් අප තොරතුරු මුලාශ්‍ර සඳහන් කරන්නේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ අදාළ රේගු නිලධාරියා සහ විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයා වෙත පොරොන්දුවූ ආකාරයට මුදල් ගෙවීම සඳහා මීට මැදිහත්වූ ව්‍යාපාරිකයා අසමත් වීමය. එනම් මෙම සැළැස්ම ආරම්භයේදී අදාළ ව්‍යාපාරිකයා විසින් විශ්‍රාමික සහ අනෙක් රේගු නිලධාරියාට රොන්දුවී ඇත්තේ වත්තල ස්ටෝරුවෙන් මෙම කන්ටේනරය ගොඩබෑමට පෙර ගිවිසගත් මුදල් ලබාදෙන බවය. නමුත් පසුව ව්‍යාපාරිකයා සඳහන් කර ඇත්තේ අදාළ කන්ටේනරය වත්තල ස්ටෝරුවට යැවීමෙන් පසුව ගිවිසුම්ගත මුදල් ලබාදෙන බවය.

රේගුවේ විශ්‍රාමික කෙරුමා මෙන්ම මේ වන විටත් සේවයේ නිරත කෙරුමන් රේගු ගේම වෙනස් කරන තීන්දුව ගන්නේ මෙතැනදීය. ඒ අනුව ගනුලැබූ අළුත් තීන්දුව වී ඇත්තේ විශ්‍රාමික නිලධාරියාගේ ඔත්තුවක් අනුව රේගු සේවයේ නිරත නිලධාරියාගේ මැදිහත්වීමෙන් දියත්වූ මෙහෙයුමක් හරහා අදාළ කන්ටේනරය අත්අඩංගුවට ගැනීමය.

ලාභ බෙදාගැනීමේ හදිස්සිය !

කෙසේ වුවත් රුපියල් මිලියන 45කට අධික වටිනාකමක් ඇති මේ කන්ටේනරයෙන් දැමිය හැකි රේගු ගේම දන්නා රේගු කෙරුමන් දෙදෙනා ව්‍යාපාරිකයා සමඟ වූ කඩවුණ පොරොන්දුවේ පාලනය සූක්ෂමව සියතට ගැනීමට කටයුතු කර ඇති බවක් පෙනී යයි. ඒ මෙම කන්ටේනරය තම ස්ටෝරුවට ගොඩබෑ බවත් එය තම අවශ්‍යතාව අනුව සිදුවූවක් බවට ප්‍රකාශ ලබාදී සිටියදී පවා වත්තල ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන ඇප පිට නිදහස් කර ඇති නමුත් මේ කටයුත්තට මැදිහත්වූ ව්‍යාපාරිකයාව නිදහස් නොකිරීම හරහාය.

ඒ අනුව මේ නීති විරෝධී කටයුත්තට මුල්වූ ඉහත ව්‍යාපාරිකයා හැර අනෙක් සියලු දෙනා කිසිඳු උපද්‍රවයක් නොමැතිව එළියේ ය. එහෙත් මේ රේගු ගේම්කරුවන්ට අතපසුවූ කරුණක් ඇත. ඒ විමර්ශන අවසන් වීමට පෙර අදාළ බීඩි කොළ තොගය වෙන්දේසි කර මුදල් කිරීමය.

ඒ සඳහා අනුමැතිය පළකිරීම බරපතළ සැකසංකා මතුකරන කරුණක් වන්නේ අත්අඩංගුවට ගනුලැබූ හොරබඩු නොමැතිව විමර්ශන යන පාර පැහැදිළි නැති වීමය. එසේ නම් ඒ ගැන සොයා බැලීම අනිවාර්යයක් වන අතර අපට ලැබී ඇති තොරතුරු වලට අනුව නම් මේ හොර බඩු විමර්ශන අවසන් කිරීමට පෙර වෙන්දේසි දැමුණේ ඉක්මනින් ලාභය බෙදාගන්නටය. අනෙක් අතට තොරතුරු ලබාදීම වෙනුවෙන් වන ත්‍යාග මුදල ලබා ගන්නටය. ඒ හැර මේ කරුණ සාධාරණීකරණය කල හැකි කිසිඳු කාරණයක් නොමැත.

කවුරුත් බබාලා නොවේ !

කෙසේ වුවත් විමර්ශන අවසන් කිරීමට පෙර ඒවා වෙන්දේසි කිරීමට අදාළ චෝදනාව ඉහත දැක්වූ සේවයේ නිරත රේගු නිලධාරියා වෙත පමණක් නොව විමර්ශනයේ ප්‍රධානියා වෙතද යොමුවීම වැළක්විය නොහැක. එනම් මේ වංචාව තුළ සේවයේ නිරත රේගු නිලධාරියා ආරක්ෂා වන්නේ සහ විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයා පවා අත්අඩංගුවට නොගැනීම පිටුපස විමර්ශනයේ ප්‍රධානීන් සිටීමේ සැකය කිසිසේත් ඉවත් නොවන අතර එකී තනතුර නිසාම එම සැකය තවත් තීව්‍ර වන්නේය. ඒ අනුව අප තක්සේරුව වන්නේ මේ කවුරුත් බබාලා නොවන බවය.

win - win චාන්ස් දෙන රේගු ගේම් !

අවසන් වශයෙන් පෙන්වා දීමට ඇත්තේ කන්ටේනරය අත්අඩංගුවට ගැනීමට අදාලව නිලධාරීන් රුපියල් මිලියන 45 වෙනුවෙන් දිරිදීමනාව ලබන අතර, නීති විරෝධී කන්ටේනරය නිදහස් කරගන්න මැදිහත්වීම හරහා විශ්‍රාමික රේගු කෙරුමාද අත පුච්චනොගෙන ලාභයක් උපයයි. එසේම මේ ගනුදෙනුව තුළ ව්‍යාපාරිකයා පොරොන්දුව රැක්කා නම් විශ්‍රාමික සහ සේවයේ නිරත රේගු කෙරුමන් මිලියන ගණනක ආදායමකට හිමිකම් කියයි. ඒ කියන්නේ රේගු ගේම් කොයි අතට පෙරළුණත් අදාළ පාර්ශව වත්කම් සඳහා හිමිකම් කියන බවය.

රේගුව අහිංසක නැත !

චාල්ස් මහත්මියගේ ස්ථාන මාරුව යනු රේගුවේ අවසානය බව කියමින් හෙළු බොහෝ කඳුළු කිඹුල් කඳුළු වන්නේ මේ රේගු ගේම් කිසිවක් ඔවුන් කිසිදා අනාවරණය නොකළ නිසාය. එසේම ඒ සියල්ල වසාගෙන ඔවුන් රේගුව යනු පරම පිවිතුරු උතුම් තැනක් කියන්නට පමණක් වෙහෙසෙන නිසාය. එහෙත් මේ එක පුංචි උදාහරණය ඒ මාර උත්තම ලකුණු පසුපස ඇති නින්දිත සැබෑව අනාවරණය කර දමයි. ඊනියා සළුව උනා සැබෑව අපට සමීප කරයි.

කතාව අවසන් නැත !

සැබවින්ම රේගුව ගැන කියවුණු මේ ඊනියා මාර කතා යනු රේගුවේ සැබෑ ජාතික මෙහෙයට මරු කැඳවන කතා බව යළි ඔප්පු වන්නේ චාල්ස් මහත්මිය යොදවා ඇමති මංගල සිදුකරන්න ගිය වැදගත් කාර්යය කල්යාමය. එනම් රේගුව මෙන්ම තවත් ගේම් රැසක් සිදුවන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එකට නියාමනය කරන විශේෂ ඒකකයක් පිහිටුවීම කල්යාමය. එවැන්නක් අවශ්‍ය වන්නෙම දෙපාර්තමේන්තුවට පිටින් තිබෙන ස්වාධීන ආයතනයක් අමාත්‍යංශයේ සිට ක්‍රියාත්මකවීම හරහා මෙවැනි ගේම් පාලනය කර අදාළ ආයතන සතු සැබෑ සේවය රටට ගන්නටය. ඒ ගැන තවත් සැකසංකා ඇත්නම් මෙවැනි තවත් ගේම් රැසක තොරතුරු අපසතු අතර නම්ගම් සහිතව ඒවා ඉදිරියේදී අනාවරණය කරන්නට අපට හැකිය.

එසේම ඉහත සිදුවීම සම්බන්ධව මේ වන විට අමාත්‍යංශ මට්ටමින් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමේ සූදානමක් ගැනද තොරතුරු වාර්තා වෙයි.

කාශ්‍යප කොතලාවල