ගෝඨාට එරෙහි විරෝධතා පෙත්සම ඉවතට

ගෝඨාට එරෙහි විරෝධතා පෙත්සම ඉවතට

වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කලේයැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කළ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මෙම නඩුව විභාග කිරීමට අද (11) තීරණය කළේය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ උත්තරවාද ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමටද විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්ති පාර්ශවයට නියම කළේය.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුලත් වෙති.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතීපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් වන හිටපු ආරක්‍ෂ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. ශ‍්‍රිමති මල්ලිකා කුමාරි සේනාධීර යන හත්දෙනා අධිකරණයේ පෙනී සිටියහ.

2013 සැප්තැම්බර් මස 03 වැනිදාත් 2015 පෙබරවාරී මස 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 339 ක් වැයකොට වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇති අතර එම රුපියල් ලක්‍ෂ 339 වැය කොට වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් වු 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.