Language Switcher

V2025

LTL උපසභාපති මාධ්‍ය අන්දන්න ඇවිත් : හත්පොළේ ගාගෙන නවතියි ! (වීඩියෝ )

ඉදිකිරීමට නියමිත මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරය ටෙන්ඩර් ක්‍රියාදාමය උල්ලංඝනය කරමින් චීන සමාගමකට පැවරීම නිසා රටට රුපියල් මිලියන 90,000ක පමණ අලාභයක් සිදුවන බවට චෝදනා කරමින් ඊයේ (20) මාධ්‍ය හමුවක් පැවැත්විණ.

ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ කාර්‍ය මණ්ඩල වෘත්තීය සමිතිය නමින් ඉදිරිපත් වූ පාර්ශවයක් ඒ පැවැත්වූ අතර එහිදී පසුගිය සමයේ සමාජ මාධ්‍ය වෙබ් කිහිපයක් විසින් සිදුකර තිබූ අණාවරණය නැවත කියවීමක් එහිදී සිදුවිය.

මෙහිදී මාධ්‍යවේදීන් අතර නිර්මාණයවූ පොදු කතාබහක් වුයේ අවස්ථා කිහිපයකදී LTL පාර්ශවයේ මූලික විරෝධතා නිසාම වසර ගණනාවක් ඉදිකිරීම සඳහා අවස්ථාව අහිමිව කල්තැබුනු මේ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසුවද දරුණු විවේචනයකට ලක්වීම සැකසහිත බවය.

එසේම LTL පාර්ශවය සිදුවන පාඩුව ලෙස මාධ්‍ය හමුවේ අනාවරණය කර ඇති මිල ගණන වන රුපියල් මිලියන 90000ක මුදල උපකල්පිත අගයක් පමණක් වීමය.

මෙහිදී සිදුවූ විශේෂ සිදුවීම වූයේ මාධ්‍යවේදීන් මෙම මාධ්‍ය හමුවට අදාලව විමසූ ප්‍රශ්න කිසිවකට මාධ්‍ය හමුව පැවැත්වූ පාර්ශවය නිසි පිළිතුරු ලබාදීමට නොහැකිව LTL වෘත්තීය සමිතිය නමින් පෙනීසිටි පාර්ශව අසරණ වීමය.

මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න මෙන්න !

LTL ආයතනය පසුගිය සාමය පුරා දියත්කල මාධ්‍ය මෙහෙයුම තුළ අමාත්‍යංශ ලේකම්වරයා දුෂිත බවත් අමාත්‍යංශය ඊට සහය දෙන බවත් සඳහන් කෙරිණ. ඒ අනුව මාධ්‍යවේදීන් රැසක් අවධානය යොමුකර සිටියේ LTL සහ ඊට අනුබද්ධ සමාගම් වල තිබෙන විනිවිදභාවය සම්බන්ධවය.

ඒ අනුව LTL හෝ ඊට අනුබද්ධ සමාගම් රාජ්‍ය විගණනයට ආවරණය නොකිරීම සම්බන්ධව විමසු විට ඔවුන් සඳහන් කළේ තමන් පෞද්ගලික සමාගමක් බවය. එහෙත් මාධ්‍ය පෙරළා විමසා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලයේ 62%ක කොටස් හිමි සමාගමක් රාජ්‍ය විගණනයට යටත් කිරීමේ වැදගත් කමය. කෙසේ වෙතත් ඔවුන් ඊට නිසි පිළිතුරක් ලබාදුන්නේ නැත.

එසේම මාධ්‍ය හමුව පැවැත්වූ පාර්ශවය තමන් පෞද්ගලික සමාගමක් බව සඳහන් කර සිටියත් මෙම අවස්ථාවට සහභාගීවූ රාවය මාධ්‍යවේදියා දක්වාලුයේ අදාළ සමාගමට විගණකාධිපති චෝදනා නොමැති බවට එහි ප්‍රධානියෙකු යොමුකළ ලිපියක සත්‍ය අසත්‍යතාවය. ඊටද නිසි පිළිතුරක් ලබාදීමට මේ පාර්ශවය සමත් වුයේ නැත.

තවද මාධ්‍ය විමසා සිටි වැදගත් ප්‍රශ්නයක් වූයේ "සී/ස ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් සමාගම මගින් 100%කට කොටස් යොදවා 1998දී සමාගම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට‍්‍රාර් ජෙනරාල් කාර්යාලයේ අංක NPVS 21196 යටතේ ලියාපදිංචි කරන ලද සී/ස LTL ප්‍රොජෙක්ට් පුද්ගලික සමාගම මෙලෙස නීති විරෝධී ලෙස රටට විශාල මූල්‍ය පාඩුවක් සිදු කරමින් අන්සතු කර ඇති බවට" දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු විසින් කෝප් කමිටුව වෙත යොමුකර ඇති ලිපිය සම්බන්ධවය.

ඊටද නිසි පිළිතුරක් ලබාදීමට ඔවුන් සමත් වූයේ නැත. එසේම මෙම දුෂණ විරෝධී හඬ සංවිධානය අදාළ ලිපිය හරහා අවධානය යොමුකර ඇති බරපතළ කාරනා කිසිවක් ඔවුන්ට බරපතල නොවූ බවක් පෙනෙන්නට තිබු අතර ඒඅනුව ඔවුන් වෙතින් ප්‍රදර්ශනය වූයේ අදාළ ටෙන්ඩරය තමන්ට ලැබිය යුතුයි - නැත්නම් එම ටෙන්ඩරය අත්හිටවිය යුතුයි පන්නයේ හැසිරීමක් පමණය.

ඒ නිසාම මාධ්‍ය නැවත ඔවුන් වෙතින් ප්‍රශ්න කර සිටියේ රාජ්‍ය විගණනය සහ සමාගම සම්බන්ධව මතුකළ විනිවිදභාවය සම්බන්ධ ප්‍රශ්න සැහැල්ලුවට ගෙන අදාළ ටෙන්ඩරය පමණක් මාතෘකාව කරගෙන සංවාදය ඉදිරියට ගන්නේ මාධ්‍ය ප්‍රහාරයක් හරහා මේ කටයුත්ත අත්හිටුවීමට හෝ එය තමන්ටම පමණක් හිමිවිය යුතුය යන පදනමේ සිට නොවේද යන්නය. ඊට නිදර්ශන ලෙස මාධ්‍යවේදියකු කරුණු පැහැදිළි කර සිටියේ රාජ්‍ය ප්‍රසම්පාදනයට අදාළ සියලු ආයතන විසින් තහවුරු කල ටෙන්ඩරයක් සම්බන්ධව ටෙන්ඩරයට කොහෙත්ම සම්බන්ධ නොවන වෘත්තීය සමිතියක් පවා ඉදිරිපත්ව සිටීමය. එසේම මේ තියෙන්නේ බිස්නස් එක නොලැබීම ගැන ප්‍රශ්නයක් පමණක් නොවේදැයි යන්නද එහිදී මතුකෙරිණ.

අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක් නෑ !

තවද මේ වන විටත් විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ කිසියම් හෝ දුෂණ අක්‍රමිකතාවක් ඇත්නම්, ඒ සම්බන්ධව හෝඩුවාවක් හෝ තිබේ නම් සෘජුව අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන්නට එන ලෙස අමාත්‍ය රවී කරුණානායක සිදුකර ඇති විවෘත ආරාධනය සම්බන්ධවද මාධ්‍ය විමසනු ලැබිණ.

ඊටද මාධ්‍ය හමුව පැවැත්වූ පාර්ශව ලබාදුන් පිළිතුර වූයේ අමාත්‍යංශය සම්බන්ධ විශ්වාසයක් තමන්ට නොමැති බවය. ඒ නම් අපූරු වෘත්තීය සමිති එළඹුමක් බව තවත් කරුණු අනවශ්‍යය.

වෘත්තීය සමිතියේ ඉන්නේ සමාගම් ජාලයේ ලොක්කන් පමණයි !

කෙසේ වුවත් ඒ සඳහා ද පිළිගත හැකි පිළිතුරක් නොලැබුණු අතර කෙසේ වුවත් අවස්ථා කිහිපයකදීම අනාවරණය වුයේ මේ වෘත්තීය සමිතිය LTL සහ ඊට අනුබද්ධ සමාගම් වල විධායක මට්ටමේ නිලධාරීන් ඇතුළත් එම සමාගමේ ප්‍රචාරක කණ්ඩායමක් මිස වෙනත් පිළිගත් වෘත්තීය සමිති වගකීමක් සහිත සංවිධානයක් නොවන බවය.

සමිතියේ සභාපති : LTL උපසභාපති

මේ අතර විශ්වාසවන්ත ආරංචිමාර්ග අපට සඳහන් කර සිටියේ මෙම මාධ්‍ය හමුව කැඳවූ වෘත්තීය සමිතියේ සභාපති වන සමීර ගනේගොඩ LTL හී උපසභාපති ධුරය දරන බවය.

එපමණක් නොව මේ වන විටත් LTL සහ ඊට අනුබද්ධ සමාගම් විසින් මෙහෙයුම් සිදුකරන ඩීසල් බලාගාරයක් පසුගිය මාසයේ විදුලි ඒකකයක් විකුණු මිල විමසු කළ එකී ආයතනය නියෝජනය කළ නිලධාරියා නිරුත්තර වූ අතර පසුව ඔහු රුපියල් 21ක් වැනි ව්‍යාජ ගණනක් සඳහන් කර ප්‍රශ්නයෙන් ගැළවීමට අසාර්ථක උත්සාහයක් දැරීය. නමුත් එහිදී මාධ්‍යවේදීන් සිහිපත් කර සිටියේ අදාළ බලාගාරය ඉතා ඉහල මිලකට විදුලි ඒකකයක් ලබාදෙන බවත් ඒ සම්බන්ධ තොරතුරු රැසක් තමන් සතුව තිබෙන බවය.

මිල තරගය එන නිසා ගෙනා බිල්ලා !

එසේම මේ වන විටත් මෙම බලාගාරය ඉදිකර අවසන්වූ පසු විදුලිය මිලදී ගැනීමේදී ඇතිවන තරගය සහ එහිදී අඩු මිල තිබෙන බලාගාරයට වැඩි ඉඩක් ලැබීමත් වැඩි මිල බලාගාරය මෙතෙක් විදුලි ඒකකයක් වැඩි මිලට විකිණීමට නොහැකිව මුහුණදෙන තත්ත්වයද මාධ්‍ය හමුවේ හොඳින් පැහැදිළි විය.

සියලු පාර්ශව විවෘත මාධ්‍ය හමුවකට ගේනවා - ඇමති රවී

මේ අතර 20 වනදා මේ මාධ්‍ය හමුව ඇතුළුව මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරය ටෙන්ඩර් ක්‍රියාදාමය ප්‍රශ්න කළ සහ ඊට අදාළ සියලු පාර්ශව කැඳවා විවෘත මාධ්‍ය හමුවක් පැවැත්වීමට විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

පළවන පුවත් සම්බන්ධව අමාත්‍ය රවී කරුණානායක වෙතින් අප කළ විමසුමේදී ඔහු අන්දහන් කර සිටියේ ජර්මානු තානාපති නියෝජිතයන්, ඇමරිකානු තානාපති නියෝජිතයන්, අනෙකුත් සියලු තානාපති නියෝජිතයන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ Windforce සමාගමේ, LTL සමාගමේ, LTL සේවක සංගමයේ, දුෂණ විරෝධී සංගමයේ නියෝජිතයන්ටද විවෘත ආරාධනයක් තම අමාත්‍යංශය සිදුකරන බවය.

ඒ අනුව අදාළ මාධ්‍ය හමුව 21 වනදා පෙ.ව. 10.30 ට අමාත්‍යංශයේ දී පැවැත්වෙන බවත් එහිදී සියලු පාර්ශවයන්ගේ හරි වැරදි නියම ලෙස රටට දැනකියා ගන්නට අවස්ථාව උදාවෙන අතර එම ප්‍රතිපත්තිය අනෙක් අමාත්‍යංශ වලටද ආදර්ශයක් බව තමන් විශ්වාස කරන බවය. එසේම තැන තැන පාලු ගෙයි වලං බිඳින ප්‍රතිපත්තිය වෙනුවට විවෘත සංවාදයක් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ යහපාලන මුලධර්මයක ආදර්ශයක් බවත් පැවසු අමාත්‍යවරයා හොඳ දේ නිවැරදි දේ රටට නොලැබීම වෙනුවට වැරදි අනාවරණය වී නිවැරදි ගමනක් යාමට ලැබෙන බැවින් එය රටටත් ජනතාවටත් යහපතක් බවද අවධාරණය කළේය.