පොදුජන පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ හා ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් අතර කාලයක් තිස්සේ පැවති මත ගැටුම මේ වන විට වඩාත් උනුසුම් වී ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදීද එය මතුව ඇති අතර වාර්තා වන ආකාරයට ඒ බැසිල් රාජපක්ෂ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රීවරයා අතරය.
වාර්තා වන ආකාරයට පලාත් පාලන ආයතනවල පුරප්පාඩුවන මන්ත්‍රී ධුර පිරවීමේ නිසි ක්‍රමවේදයක් සකස් කල යුතු බවට ගම්මන්පිල මහතා විසින් කල යෝජනාවක් සමගින් මෙම ගැටුම ආරම්භ වී ඇත.
''ඔයාලට ඕන විදිහට වැඩ කරන්න බෑ. පොදුජන පෙරමුණ අයිති අපට. අපට ඕන විදිහටයි වැඩ වෙන්න ඕනෑ...’ යයි බැසිල් රාජපක්‍ෂ මහතා පවසද්දී, ගම්මන්පිල මහතා ඊට ප්‍රතිචාර දක්වමින් ''ඔයාට ඕන විදිහට නටන්න අපි ලෑස්ති නෑ. මතක තියාගන්න මහින්ද මහත්තය නිසයා අපි මෙතන ඉන්නෙ. මහින්ද මහත්තය නැත්නම් පොහොට්ටුවෙන් ඉල්ලන්නෙත් නෑ’ යනුවෙන් පවසා තිබේ.
''තනියෙන් ඉල්වුව නම් මන්ත්‍රී ධුර ගන්නෙ වෙන්නේ නෑනෙ’ යයි පවසමින් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රශ්නයට මැදිහත් වෙද්දී, ''ඔබතුමා මතක තියාගන්න මෛත්‍රී ගුණරත්නගේ කෙසෙල් ඇවරියට 21යි. ශ්‍රීනාත්ගෙ බල්බ් එකට මන්ත්‍රී ධුර 10ක් තියෙනවා. අපි ඊටත් වඩා දුර්වලයි කියල හිතුවද? '' කියා ගම්මන්පිල මහතා මහින්ද රාජපක්‍ෂ මහතාටද ආවේගශීලිව ප්‍රතිචාර දක්වා ඇත.
ඉන් අනතුරුව ද බැසිල් රාජපක්‍ෂ හා උදය ගම්මන්පිල මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර මහින්ද රාජපක්‍ෂ මහතා මැදිහත් වී එය සමනය කර තිබේ.

