Language Switcher

V2025

දෙන්නා දෙපැත්තට අදින නිසා රට අස්ථාවරයි - මහින්ද : හොදම විකල්පය ජනාධිපතිවරණයක් - එජාපෙ !

ජනාධිපතිවරයාගේ තින්දුව අගමැතිවරයා වෙනස් කරන සහ අගමැතිවරයාගේ තින්දුව ජනාධිපතිවරයා වෙනස් කරන පසුබිමක් ඇති බැවින් මුළු රටම තුල තියෙන්නේ අස්ථාවර තත්ත්වයක් යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසයි.

ඊයේ (25) කොග්ගලදි පැවති විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

අවාසනාවකට රට තුල හා ආණ්ඩුව තුල තිබෙන අස්ථාවරත්වය නිසා පමණක් නොව තින්දු ගැනිමේ දි තින්දු නොගෙන එය අතින් අත පාස්වෙනවා. බෝලයක් පාස්කරනවා වගේ. කවුද තින්දු ගන්නේ කියලා දන්නේ නැහැ. මේ තත්වය තුල වෙනසක් ඇතිවිය යුතුව තියෙනවා.

ස්ථාවර ආණ්ඩුවක් තුල පමණයි ආයෝජකයාට වඩා ශක්තිමත් ආයෝජනයක් කරලා ඒ ආයෝජනයේ ප්‍රථිපල ලබන්න පුළුවන්කම තියෙන්නේ. මේ ආයතනය වසා දැමුවාට පසු මේ තරුණයින් දෙදෙනා ලංකාවෙන් ඉතියෝපියාවට ගිහින් ආයෝජනය කළා. එවැනි අවස්ථාවකදි මේ ආයතනය අරගෙන මේ රටේ ආයෝජනයක් ආරම්භ කිරිම අගය කරනවා.

රටතුල ව්‍යවසායකයින් වැඩිවෙලා ශක්තිමත් රටක් ඇතිකරන්න ළගදිම අවස්ථාවක් ලැබේවි කියලා මා බලාපොරොත්තු වෙනවා. ඒ තත්වය ඇති වෙන්න වැඩිකාලයක් යන එකක් නැහැ.රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා රැකියා බහුල වෙලා නොබෙදුණු රටක් ඒකිය රටක් තුල කටයුතු කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

හොඳම විසඳුම ජනාධිපතිවරණයක් !

කෙසේ වුවත් විපක්ෂ නායකවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධව සිදුකල කරුණු විමසීමකදී ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු සඳහන්කර සිටියේ කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම හරහා මේ ප්‍රශ්නය විසඳාගත හැකි බවය.

ඒ සඳහා වෙනත් විකල්පයක් නොමැති බව සඳහන් කල අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"ජනාධිපති සහ අගමැති අතර මතුව තිබෙන ප්‍රශ්නය විසඳන්න හොඳම සහ ප්‍රජාතන්ත්‍රවාදීම ප්‍රවේශය තමයි ජනාධිපතිවරණයක් පැවැත්වීම. එවැනි ජනමත උරගා බැලීමකදී ජනතාව තීන්දුවක් ගනියි අපි කාටද අවස්ථාව දෙන්නේ කියන කරුණ සම්බන්ධව. කොහොමටත් ජනාධිපතිවරණයක් ජයගන්න පාර්ශවයට පුළුවන් මහ මැතිවරණයකට ගොස් එයත් ජයග්‍රහණය කරන්න. එවිට ශක්තිමත් ආණ්ඩුවක් බිහිවෙයි. අගමැති සහ ජනාධිපති එකම පාර්ශවයෙන් පත්වෙයි.

එහෙම නැතුව දැන් වෙන මොනවා කළත් තේරුමක් නෑ. මොකද මහ මැතිවරණයකින් නැවත එක්සත් ජාතික පෙරමුණ දිනුවත් වැඩකරන්න වෙන්නේ සිරිසේන ජනාධිපති එක්ක. අපි එයාට ඕන අගමැතිව පත්නොකරන නිසා යළිත් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ නිසා හොඳම විකල්පය තමයි ජනාධිපතිවරණය.