කළු සල්ලි සුදුකරන ස්ථාන 200ක් කොළඹ !

කළු සල්ලි සුදුකරන ස්ථාන 200ක් කොළඹ !

කොළඹ කොටුව පිටකොටුව සහ ඒ අවට ප්‍රදේශවල හොර රහසේ පවත්වාගෙන යන නීති විරෝධි කළු සල්ලි සුදු කරන ස්ථාන දෙසීයකට ආසන්න ප්‍රමාණයකින් දිනකට රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් මාරු කරන බව පොලිස් ඔත්තු සේවා මඟින් අනාවරණය කැරගෙන තිබේ.

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් පිරිසක්, විදේශිකයන්, පොලිසියට සම්බන්ධ කිහිප දෙනකු සහ විවිධ ජාවාරම්කරුවන් මෙම උන්ඩියල් ක්‍රමය හෙවත් කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථාන පවත්වාගෙනයන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් ද ගනුදෙනු කෙරෙන්නේ මෙම උන්ඩියල් ක්‍රමය ඔස්සේ බව ද අනාවරණය කැරගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රට පුරා බෙදා හැරෙන මත්කුඩුවලට ගෙවනු ලබන කෝටි ගණන් මුදල් කොටුව, පිටකොටුව ප්‍රදේශයේදී කළු සල්ලි ජාවාරම්කරුවන් වෙත ගෙන එනු ලබයි. ඒවා විදෙස් රටවල සිටින ජාවාරම්කරුවන් වෙත ලබාදීම සිදුකරනු ලබන්නේ කළු සල්ලි ජාවාරම්කරුවන් හරහාය.

දේශපාලනඥයන් කිහිපදෙනෙක් ද මෙම කළු සල්ලි ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වමින් මෙම ජාවාරම හරහා කෝටි ගණනින් මුදල් උපයති.

රජයට ලැබිය යුතු ආදායම් බදු සහ වෙනත් අයකිරීම්වලින් බැහැරව බැංකුවල තැන්පත් කිරීමකින් තොරව හොර රහසේ එහා මෙහා යැවෙන මෙම කළු සල්ලි ජාවාරමට මත්කුඩු ජාවාරම්කරුවන්ට අමතරව කප්පම් අය කරන සහ වෙනත් ජාවාරම්වලට සම්බන්ධ පාතාලයේ ප්‍රබලයන් ගණනාවක් ද එම මුදල් කෝටි ගණනින් එහා මෙහා යවනු ලබන්නේ මෙම උන්ඩියල් ක්‍රමය හරහාය. මෙම මුදල් නීත්‍යානුකූලව සිදුවන්නේ ‍නම් රජයට ලැබිය යුතු ආදායම මසකට රුපියල් කෝටි දසදහසක් පමණ විය හැකි බව ද, එතරම් විශාල මුදල් ප්‍රමාණයක් මේ ආකාරයෙන් කළු සල්ලි සුදු කරන ජාවාරමට ගොදුරු වී ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ. සිංහල, දෙමළ, මුස්ලිම් සහ විදේශිකයන් ද එකතු වී ඉතාමත් සාමදානයෙන් කිසිදු ප්‍රශ්නයක් ඇතිකැර නොගෙන කැරගෙන යන එකම ජාවාරම මෙම කළු සල්ලි සුදු කරන ජාවාරම බව මේ සම්බන්ධයෙන් කරනු ලැබූ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

‍පසුගිය කාලය තුළ මෙම නීති විරෝධී කළු සල්ලි ජාවාරම්කරුවන් කොටුකැර ගැනීමේ මෙහෙයුම් දිගින් දිගටම දියත් කරනු ලැබිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ජාවාරම් පවත්වාගෙන යන මධ්‍යස්ථාන කිහිපයක්ම කොටුකැර ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව නඩු පැවරීමටත් හැකි විය. කොළඹ වංචා විමර්ශන අංශයෙන් මීට වසර කිහිපයකට පෙර එසේ කළු සල්ලි සුදු කරන ස්ථානයක් වටලා එහි තිබූ ලක්ෂ අසූවක පමණ මුදල් සමඟ එම ස්ථානය පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන පසුව මහාධිකරණය හමුවේ නඩු අංක 8168/16 යටතේ පවරන ලද නඩුවේදී එම පුද්ගලයා වරද පිළිගැනීමෙන් පසු දණ්ඩ නීති සංග්‍රහයේ අංක 102 විනිමය පාලන පනතේ අංක 51 අ මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිරදඬුවම් සමඟ දඩ නියම විය.

තවද මෙම වැටලීම සහ නීත්‍යානුකූලව කටයුතු කිරීම තුළින් රජයට රුපියල් කෝටියක පමණ ආදායමක් ලබාදීමට ද මෙම පොලිස් කණ්ඩායමට හැකි විය. මේ ආකාරයෙන් රටට අහිමි වී යන කෝටි දහස් ගණනක මුදල් හිමිකැර ගැනීමට නම් කළු සල්ලි ව්‍යාපාරයට තිත තැබිය යුතු බව පොලිසිය පවසයි.

මේ ආකාරයෙන් කළු සල්ලි ව්‍යාපාරයේ යෙදී සිටින අත්අඩංගුවට පත් කෝටිපති ව්‍යාපාරිකයන් විශාල පිරිසකට විරුද්ධව නඩු පවරා තිබේ. එහෙත් මේ වන විට නීති විරෝධි කළු සල්ලි සුදු කරන ස්ථාන දෙසීයකට ආසන්න ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශය තුළ පමණක් ඇති බව ඔත්තු සේවා මඟින් අනාවරණය කැරගෙන ඇතත් මේවා වැටලීම පිණිස පොලිස් කණ්ඩායම් යොදවා නැති බව ද වාර්තා වෙයි.

(දිනමිණ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න