ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපයේ වැඩ අද ඇරඹේ !

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපයේ වැඩ අද ඇරඹේ !

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය අද (04) බිංගිරියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලබයි.

වසර 15 කට පසු මෙවැනි අපනයන සැකසුම් කලාපයක් ඉදිවෙන පළමු අවස්ථාව මෙය බවත්, එමගින් ඍජු විදේශ ආයෝජන, අපනයනය සහ රැකියා උත්පාදනය මගින් ආර්ථිකයට නව ජීවයක් ලබා ගැනීමට අපේක්‍ෂා කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසයි.

මෙම සංවර්ධන කලාපය අදියර තුනක් යටතේ සංවර්ධනය කරන අතර, පළමු අදියර යටතේ ජර්මන් වත්ත නම් වූ අක්කර 164 ක භූමි ප්‍රදේශය සංවර්ධනය කර නව කර්මාන්ත ශාලා 25 ක් ස්ථාපිත කරනු ලබයි. එමගින් ඍජු රැකියා 10,000 ක් ද වක්‍ර රැකියා 3000 ක් ද ලබාදීමට සැලසුම් කර තිබේ.

දෙවන අදියර යටතේ අක්කර 282 ක් වන ගොරකගස්ආර ප්‍රදේශයේ නව කම්හල් ඇරඹිම සඳහා සංවර්ධනය කරන අතර, එහි ස්ථාපිත කරනු ලබන නව කර්මාන්ත ශාලා තුළින් ඍජු රැකියා 25,000 ක් සහ වක්‍ර රැකියා 10,000 ක් අපේක්‍ෂා කරයි.

තෙවන සහ අවසන් අදියර වන විට අපනයන සැකසුම් කලාපය සතු සමස්ත ඉඩම් ප්‍රමාණය අක්කර 1200 ක් වන අතර, එහි ස්ථාපනය කරන නව කර්මාන්ත ශාලා තුලින් ජනිත කරන ඍජු රැකියා ප්‍රමාණය 75,000 ක් පමණ වනු ඇත. බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ සමස්ත සංවර්ධන ක්‍රියාදාමය වසර 8 ක් 12 ක් දක්වා කාල පරාසයකදී වැඩ නිම කිරීමට අපේක්‍ෂිතය.

මෙම අපනයන සැකසුම් කලාපය අනාගතයේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා විශාල කාර්ය භාරයක් ඉටුකරනු ඇති බවත් එහි පිහිටුවනු ලබන කර්මාන්ත ශාලා අතර, බර සහ සැහැල්ලූ ඉංජිනේරු කර්මාන්ත, තොරතුරු තාක්‍ෂණය හා ඒ ආශ්‍රිත කර්මාන්ත, රථ වාහන අමතර කොටස් නිපදවීමේ කර්මාන්ත හා වාහන එකලස් කිරීමේ කර්මාන්ත, බාහිර සේවා ආයතන, ඇඟළුම් හා ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලා ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බවත් නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න