Image

දිස්ත්‍රික් 14ක ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානය

දිස්ත්‍රික් 14ක ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානය

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම මැඩපැවැත්වීමට අදාළ ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15)  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද  ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්

එම  සාකච්ඡාවේ දී ඉතා පුළුල් ලෙස වර්තමානයේ ඩෙංගු රෝගය ව්‍යාප්තිය හමුවේ එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා මේ දක්වා ගෙන ඇති පියවර, ඊට අදාළව ක්‍රියාත්මක ප්‍රතිකාර සඳහා රෝහල් පද්ධතිය සුදානම් කිරීම ඩෙංගු මදුරු මර්දන ක්ෂේත්‍ර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ එම කටයුතුවල ප්‍රගතිය, ක්ෂේත්‍ර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී බලපාන මූලික ගැටලු සහ බාධක, මෙම වැඩසටහන සඳහා ජනතා සහභාගිත්වය ලබාගැනීම, පළාත් පාලන ආයතන, අනෙකුත් රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශවල දායකත්වය ලබා ගැනීම ආදී කටයුතු මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් යනාදි කරුණු පිළිබඳ ඉතා දීර්ඝ වශයෙන් සොයා බැලීමක් සිදු කළේ ය.

 

ප්‍රතිකාර සේවාවලට අදාළ විශේෂ උපදෙස්

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාශීලීව අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත්කම අවධාරණය කළ අතර, ඒ සඳහා සකස් කර ඇති සියලු වැඩසටහන් වේගවත් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

විශේෂයෙන්ම මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව මූලික කරගෙන ප්‍රජා සංවිධානවල දායකත්වය ලබා ගැනීමේ වැදගත්කම, අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය. එමෙන්ම ප්‍රතිකාර සේවාවලට අදාළ විශේෂ උපදෙස් ලබාදීමේ කටයුතු ද නිසි ආකාරව ක්‍රියාත්මක කරන ලෙස අවධාරණය කළ අමාත්‍යවරයා ජනතාව ඉතා පුළුල් ලෙස දැනුවත් කිරීමේ කඩිනම් මාධ්‍ය වැඩසටහනක් සකස් කිරීම පිළිබඳව නිලධාරීන් සමඟ පුළුල්ව සාකච්ඡා කළේ ය. එමෙන්ම ඊයේ(15) සිට ලබන (20) දින දක්වා ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්දන සතියේ ක්‍රියාකාරීත්වය සහ ඊට අදාළ සැලසුම් පිළිබඳව ඉතා දීර්ඝව කරුණු සාකච්ඡා කළ අමාත්‍යවරයා ඩෙංගු පැතිරීම සීඝ්‍රයෙන් සිදුවන කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, නුවර, මාතලේ, මඩකළපුව සහ බදුල්ල යන දිස්ත්‍රික් 14හි දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු  වගකිවයුතු සියලු පාර්ශ්ව කැඳවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද සම්බන්ධීකරණය සහිතව කඩිනමින් විශේෂ සාකච්ඡාවක් සංවිධානය කරන ලෙස ද අමාත්‍යවරයා මෙහි දී උපදෙස් ලබාදුන්නේ ය.

 

වගකීම අදාළ ඒකක වෙත

මෙම කටයුතු හදිසි සහ ප්‍රමුඛ සේවා ලෙස සලකා ඉදිරියට දියත් විය යුතු ආකාරය පිළිබඳව වැඩසටහනක් සකස් කිරීම පිළිබඳව අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන් සමඟ පුළුල්ව අදහස් හුවමාරු කරගත් අතර ඊට අදාළ කටයුතු දියත් කිරීමේ වගකීම අදාළ ඒකක වෙත පැවරී ය. එමෙන්ම ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් මර්දනය කිරීමට අදාළව ජාත්‍යන්තර අත්දැකීම් පාදක කරගනිමින් වැඩසටහනක් සකස් කිරීම පිළිබඳවත් අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන් සමග කරුණු සාකච්ඡා කළ අතර ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සහ  සැලසුම් සකස් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝනොවන රෝග ඒකකය) විශේෂඥ  වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) සහ කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක, ප්‍රජා විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ්, ජාතික ජාතික මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජගත් අමරසේකර, ප්‍රජා වෛද්‍ය ලේඛකාධිකාරී වෛද්‍ය නදීෂානි වල්විට , කීට විද්‍යාඥා සකුන්තලා ජානකී යන අය ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරී පිරිසක් එක්ව සිටියහ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න