බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ නීතිමය රාමු පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමීප නීතිවේදීන් කණ්ඩායමක් කාටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට බැඳුම්කර කොමිසමේ නිර්දේශ සම්බන්ධව මතුව ඇති විවේචන සහ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවට අදහසක් පැතිරයාමත් එය ජනාධිපති කොමිසමක් සම්බන්ධ මහජන විශ්වාසය පළුදුවීමක් ලෙස සලකා අදාළ නීතිවේදීන් මෙම කටයුත්ත අරඹා ඇත.
එහිදී බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් වෙතද චෝදනා එල්ලවී ඇති බව සලකා ඔවුන් සතු දෙස් විදෙස් දේපළ රාජසන්තක කිරීම සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහාද එම නීතිවේදීන් පිරිස කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ඇත.
ඉදිරියේදී පාර්ලිමේන්තුව රැස්කර බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ සම්බන්ධව ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එහිදී යම් ආකාරයකින් එම නීති කටයුතු මඟහැරීමට යම් පාර්ශවයක් කටයුතු කළහොත් අදාළ නීතිමය කාර්යයන් සිදුකර චෝදානාවන්ට වැරදිකරුවන් වන පාර්ශව හරහා වන්දි අයකර ගැනීම මෙහි අරමුණ බවද දැනගන්නට ඇත.
මේ අතර අර්ජුන් මහේන්ද්‍රන් නීතියෙන් වැරදිකරුවකු වුවහොත් උදර්පණ නීතිය යටතේ ඔහුගේ දේපළ රාජසන්තක කරගැනීමට හැකියාව ඇති බව නීතීඥ ප‍්‍රතිභා මහානාම සඳහන් කර ඇත.
එම පියවර ගැනීම සඳහා ශ‍්‍රි ලංකාව සිංගප්පූරුවෙන් සහයෝගය ඉල්ලා සිටිය යුතු බවත් අර්ජුන් මහේන්ද‍්‍රන් අදාළ නඩුවට පෙනී සිටිනවාද නැද්ද යන්න එහිදී අදාළ නොවන බවත් ඊට අවශ්‍ය වන්නේ නඩු අසා එම නඩු තීන්දුව සිංගප්පුරු අධිකරණයට දැනුම්දීම පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මේ අතර ජනපති බැඳුම්කර කොමිසමේ වාර්තාව නීතිපතිවරයාට යැවීමත් සමග නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට ගැනීමට අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව අගමැතිවරයා යටතේ පවතින අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීමට එය බාධාවක් වී ඇති බවත් මේ නිසා එය ජනාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කරගැනීමට නියමිත බවද එම දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

