ප්‍රතිත්‍රස්ත පනත දරුණුයි - ප්‍රජාතන්ත්‍ර විරෝධීයි: මාධ්‍ය සංවිධාන 3ක් එක හඬින් කියයි !

ප්‍රතිත්‍රස්ත පනත දරුණුයි - ප්‍රජාතන්ත්‍ර විරෝධීයි: මාධ්‍ය සංවිධාන 3ක් එක හඬින් කියයි !

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම නව ප්‍රතිත්‍රස්ත පනත් (ත්‍රස්තවාදය වැළැක්වීමේ ) කෙටුම්පතද මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට හා ප්‍රකාශනයේ නිදහසට එරෙහි දරුණු මර්දනකාරි ප්‍රයත්නයක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය යන සංවිධාන එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රයත්නයන් ගෙන් වළකින ලෙස රජයෙන් ඉල්ලා සිටී.

පවතින රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට මීට වසර තුන හමාරකට පෙර එකඟ වුවද, අද වනතුරු එය ක්‍රියාත්මකව පවතී. කැබිනට් අනුමැතිය ලද නව ත්‍රස්තවාදය වැළැක්වීමේ කෙටුම්පත (Counter Terrorism CTA) සම්පාදනය කරන ලද්දේ ද රහසිගතවය. අදාළ පාර්ශව කිසිවෙකු ගෙන් අදහස් විමසීමක් නොවීය. ත්‍රස්තවාදය සම්බන්ධ වරද පිළිබඳව මෙහි සඳහන් දළ හා පුලුල් අර්ථ කථනයන් හරහා තවදුරටත් ව්‍යවස්ථානුකූලව හා අන්තර් ජාතික සම්මුතීන්ට අනුකූලව රට තුල රැකීමට බැඳී සිටින මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ දැඩි අවධානමක් පවතී.

නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත මඟින් මාධ්‍යවේදීන්, පොදු ජනතාව උදෙසා පළ කරන බෙදා හරින ඕනෑම තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම කළ හැකි වේ. ලියා පදිංචි මාධ්‍ය ලෙස දැක්වෙන කොටස් හරහා ප්‍රජා මාධ්‍යකරුවන් හා සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන්නන් දැඩි අවධානමකට ලක්වේ. ඔවුන් අත් අත්අඩංගුවට ගැනීම හෝ බලෙන් ලියා පදිංචි කරවීම හෝ කළ හැකිය.

නීති විශාරදයින් පෙන්වා දෙන්නේ දැනට ලංකාවේ ත්‍රස්තවාදය සම්බන්ධ වැරදි වලට නීති ප්‍රතිපාදන 20 කට ආසන්න සංඛ්‍යාවක් පවතින බවයි. මීට අමතරව හදිසි නීතිය බලගතු කිරීමට ජනාධිපතිවරයාට බලය පවරා ඇත.

මෙම පසුබිම තුල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත යන දෙකටම එරෙහි වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය යන සංවිධාන අනෙකුත් සිවිල් හා දේශපාලන බලවේග සමග එක්ව රජයෙන් ඉල්ලා සිටින්නේ පවතින පනත ( PTA) අහෝසි කර නව කෙටුම්පත ද (CTA) ඉල්ලා අස් කර ගන්නා ලෙසයි.

අත්සන් කරන ලද්දේ

දුමින්ද සම්පත් - ශ්‍රී ලංකා වෘත්තිය මාධ්‍යවේදීන්ගේ සංගමය 
සී ‌දොඩාවත්ත - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ධර්මසිරි ලංකාපේලි - මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න