ලංකාවට අදාල ජිනීවා යෝජනාව : 20 සභාගත කරයි !

ලංකාවට අදාල ජිනීවා යෝජනාව : 20 සභාගත කරයි !

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ ලිඛිත වාර්තාව හෙට (20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී නිල වශයෙන් සභාගත කෙරෙන බව ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඊට පසුදින එනම් අනිද්දා (21) ශ්‍රී ලංකාව විසින් සම අනුග‍්‍රාහකත්වය දක්වා ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මතය සළකා බැලෙන බවද එම ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ලිඛිත වාර්තාව ජිනීවා වේලාවෙන් අද දහවල් 12.00 ට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය සභාව හමුවේ ලංකාව සම්බන්ධයෙන් කරුණු දක්වනු ඇත. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා කවුන්සිලය හමුවේ අදහස් දැක්වීමට නියමිතය.

ඉන් පසුව මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිත අදහස් දක්වනු ඇත.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ යන මහත්වරුන් සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ජිනීවා නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස් මහතා, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය මහත්මිය සහ ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සෙසු අදාළ නිලධාරීහු ද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරිපත් කෙරෙන අවස්ථාවට සහ ශ්‍රී ලංකාව විසින් සම අනුග‍්‍රාහකත්වය දක්වා ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මතය සළකා බැලීමේ අවස්ථාවට සහභාගී වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී ඇති යෝජනාවේ කාලසීමාව වසර දෙකිකන් දීර්ඝ කර ගැනීමට බලාපොරොත්තු වන බව රජය පවසා සිටි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී අදාළ කාලසීමාව දීර්ඝ කර ගැනිමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය, අග‍්‍රාමාත්‍ය කාර්යාලය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

2015 වසරේ ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව 2017 පෙබරවාරි, මාර්තු මාසවලදී පැවැත් වූ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරයේ දී කාලසීමාව වසර දෙකකින් දීර්ඝ කර ගනු ලැබීය.

ඒ අනුව අදාළ යෝජනාව ක‍්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් මෙවර මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේ දී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව ඇත. අද (20) දින කවුන්සිලය හමුවට ඉදිරිපත් කරනුයේ එම වාර්තාවය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමාසාරිස්වරියගේ කාර්යාලය විසින් ගනු ලබන සියලූ ක‍්‍රියාමාර්ග පදනම් වනුයේ අද (20) මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත අදාළ වාර්තාව මත බවද ජිනීවා තානාපති ආරංචි මාර්ග කියා සිටී.

 

එම නිසා සම අනුග‍්‍රාහිත කල් ඉල්ලීමේ යෝජනා සම්මතයක් මඟින් තවත් වසර දෙකක් කල් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බවද රජය මීට පෙර අග‍්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් විණි.

එම යෝජනා සම්මතයට ශ්‍රී ලංකා රජය සම අනුග‍්‍රහය දැක්වීමට එරෙහිව නැගෙන චෝදනා මහජනතාව නොමඟ යැවීමටත් අයුතු ලෙස දේශපාලන වාසි ලබා ගැනීමට කරන්නා වූ ව්‍යාපාරයේම කොටසක් බව එම නිවේදනයේ සඳහන් විණි.

මෙම ක‍්‍රියාමාර්ගය මඟින් සංහිදියාව, සාමය ගොඩනැන්වීම සහ ජාතික ගැටළුවට පිළියම් යෙදීම පිණිස ශ්‍රී ලංකා රජයට වැඩිපුර කාලය ඉල්ලා සිටීමක් විනා වෙන යමක් නොවන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න