2015 වසරේ අගෝස්තු මාසයත්, 2018 වසරේ ඔක්තෝම්බර් මාසයත් අතර කාලය තුළ ඉන්දියාව, ජපානය හා චීනය ශ්‍රී ලංකාවේ ස්වාභාවික ද්‍රව වායු බලාගාර 3ක් ඉදිකිරීමට රජයන් අතර එකඟතාවයකට පැමිණියද ඒ බලාගාර තුනේ ඉදිකිරීම් කිසිවක් නොවුණැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ඉන්දියාව, ජපානය හා චීනය යන රටවල් සමඟ ශ්‍රී ලංකා රජය ඇතිකරගන්නා එකඟතාවය අනුව ඉහත කාලය තුළ බලාගාර 3ක් ඉදිකිරීමට නොහැකිවීම කවුරුන්ගේ අදක්ෂතායදැයි අග්‍රාමාත්‍යවරයා විමසා සිටියේය.
අද (28) එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සමග කොළඹ අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.
විදුලි බල කප්පාදුවේ සම්පූර්ණ වගකීම රජයක් ලෙස බාරගත යුතු බවත් ජනතාවට අවශ්‍ය විදුලි බලය අඛණ්ඩව සැපයීමට රජයක් ලෙස නොහැකිවීමේ වගකීමෙන් මිදීමට ආණ්ඩුවේ කිසිවෙකුටත් ඉඩක් නැති බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබේ.
ජනතාවට අවශ්‍ය විදුලිය අඛණ්ඩව සැපයීමට ගතයුතු සෑම පියවරක්ම අනුගමනය කරන ලෙස උපදෙස් දී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා ඇත.
ආණ්ඩු අතර ඇතිකරගන්නා ගිවිසුම් මත මෙම බලාගාර ඉදිකිරීම් ආරම්භ කළේ නම් ඒවායේ වැඩ අවසන් කිරීමට තිබුණේ යැයිද ඔහු සඳහන් කළේය.
ඉදිරි දින කිහිපය ඇතුළත විදේශ රටවලින් ඇණවුම් කර තිබූ විදුලි ජනන යන්ත්‍ර සියල්ලම ලංකාවට ගෙනඒමට නියමිතව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

