එළැඹෙන ජනාධිපතිවරණය සදහා පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීම තවදුරටත් කල් දැමීම හේතුවෙන් එම පාර්ශවයේ අර්බුදයක් මතුව ඇති බව වාර්තා වෙයි.
එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මේ වන විටත් එහි පිරිසක් ගෝඨාභය රාජපක්ෂ වෙත අපේක්ෂකත්වය ලබාදීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින අතර තවත් පාර්ශවයක් උත්සාහ කරමින් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ වෙත අපේක්ෂකත්වය ලබාදීම සදහා ය.
එසේම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සදහා නෛතික ගැටලුවක් නැති බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් වෙනම ප්‍රචාරයක් දියත්කර ඇති අතර එය පොහොට්ටු පාර්ශවයේ අපේක්ෂකත්වය අවලංගු කිරීමේ කූඨ උපායක් බව කියමින් පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම්කාරී වාතාවරණයක් මතුව තිබෙන බවත් වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය ගැන දෙගිඩියාවකින් කටයුතු කිරීම සම්බන්ධව මේ සියලූ පාර්ශව දැඩි විවේචනයක සිටින බවත් දැනගන්නට ඇත.
ගෝඨාභය පාර්ශවය අන්තිම සටනට
මේ සම්බන්ධව අදහස් දක්වමින් ගෝඨාභය පාර්ශවය නියෝජනය කරන හිටපු හමුදා ප්‍රධානියකු සදහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ අවසන් සටන අලුත් අවුරුද්ද අවසන්වීමත් සමග ආරම්භ කිරීමට තීන්දු කර ඇති බවය. ඒ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ නායකයන් කිහිපදෙනකු සමග තම පාර්ශවය සාකච්ඡා කර ඇති බවත් ඊට ඔවුන් කොන්දේසි විරහිතව එකගවූ බවත් ඔහු පවසයි.
එසේම 2005 ජනාධිපතිවරණය සදහා ජනාධිපති අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂ වෙත ලබාදීමට හිටපු ජනාධිපතිනිය අදිමදි කලත් උපක්‍රමශීලීව එය තහවුරු කරගන්න මහින්ද මහතා ට හැකිවූ බව පැවසූ එම හිටපු හමුදා ප්‍රධානියා එම උපක්‍රමයට සමාන සැලසුම් කිහිපයක් ඉදිරියේ ක්‍රියාත්මක වෙනු දක්නට ලැබෙනු ඇති බවත් පැවසීය.
සිරිසේන ජනාධිපතිට පිටුපාන්න පොහොට්ටුවට බෑ : මහින්ද වචනයක් දීලා තියෙන්නේ !
මේ සම්බන්ධව සිදුකළ විමසුමකදී ශ්‍රිලනිප ප්‍රබලයකු සදහන් කර සිටියේ ඔක්තෝබර් 26 දේශපාලන පෙරළිය අවස්ථාවේ මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති සිරිසේන වෙත ලබාදී ඇති පොරොන්දුව මහින්ද මහතාගේ නිහඩව සිටීමේ රහස බවයි.
එම දේශපාලන පෙරලිය සිදුකිරීමට පෙර කරුණු කිහිපයක් සම්බන්ධව සිරිසේන ජනාධිපති එකගතාවය පළකිරීමෙන් පසුව පොහොට්ටු - ශ්‍රිලනිප සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය සිරිසේන ජනාධිපති වෙත ලබාදීමට මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ බවත් ඊට පිටුපෑමේ කිසිදු සදාචාර අයිතිවාසිකමක් දැන් නැති බවත් ඔහු පැවසීය.

