තව දුරටත් පොදුජන පෙරමුණ සමඟ සන්ධානයක් වෙනුවෙන් සාකච්ඡා සිදුකිරීමට යාමට වඩා ඉදිරි මැතිවරණ වෙනුවෙන් තනිව තරග කරන තැනට පක්ෂය ගොඩ නැගිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු සහ ජනාධිපති සිරිසේන අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර එළඹෙන ජනාධිපතිවරණය සඳහා ද ජනාධිපති සිරිසේන ඉදිරිපත් වීමට සුදුසු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුතු සන්ධානයක් හරහා මිස පොදුජන පෙරමුණ යටතේ නොවන බවද එහිදී තීරණය කර ඇති බවත් දැනගන්නට ඇත.
එසේම එහිදී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ පොදුජන පෙරමුණ සම්බන්ධව පමණට වඩා විශ්වාසයක් තබා කටයුතු කරන්නට යාම අවධානම් බවත් ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව එම පාර්ශවය කුමන පොරොන්දුවක් ලබාදී ඇතත් අවසන් මොහොතේ ඔවුන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවය.
තවද දැනට සිදුවන සන්ධාන සාකච්ඡාවල මැතිවරණයටකට එක්ව කටයුතු කරන අන්දම ගැන කිසිදු ස්ථාවරයක් පොහොට්ටු පාර්ශවය දන්වා නොමැතිවීම සහ දැනටමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා එම පාර්ශවයෙන් ඉදිරියට පැමිණ සිටීම සහ ඒ අනුව ඔහුව අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ සම්භාවිතාව ගැනද එහිදී සාකච්ඡා වී ඇති බවත් වාර්තා වෙයි.
තවද පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කරගෙන තරුණ නව නායකයන් සමඟ ශ්‍රීලනිපය ජයග්‍රාහී මාවතට ගැනීමට ඇති හැකියාව ගැනද මෙහිදී අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි.
අරුන්දිකගේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා !
මේ අතර ජන හමුවක් අමතමින් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසා සිටියේද කවුරු තම පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා වුවත් ඒ ආණ්ඩුවේ අගමැති මහින්ද වන බවය.
එසේම මහින්ද මහතා යටතේ ආණ්ඩුව රට සංවර්ධනය කරන විට ඊට හයියක් වන ජනාධිපති අපේක්ෂකයා ලෙස විවිධ පාර්ශවයන්ගේ නම් යෝජනා වනු දක්නට ලැබුණත් තමන් දකින එකම ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

