ඇමරිකානු ඩොලර් ලක්ෂ 3ක තැන්පතුවක් ඉදිරිපත් කරන විදේශිකයකුට ශ්‍රී ලංකාවේ වසර පහක වීසා ලබාගැනීමටත්, ඇමෙරිකන් ඩොලර් ලක්ෂ පහක තැන්පතුවක් ඉදිරිපත් කරන්නේ නම් වසර 10කට වීසා ලබාගැනීමටත් අවස්ථාව ලබා දෙන ආකාරයේ අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව අනාවරණය වෙයි.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මේ බව අනාවරණය කර සිටි අතර වැඩිපුර විදේශිකයන් මේ රටේ පදිංචිය සඳහා ගෙන්වාගැනීම එහි අපේක්ෂාව බවද අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා බත්තරමුල්ල "සුහුරුපාය" ශ්‍රවණාගාරයේ දී සිදුකෙරුණු විදේශගත ශ්‍රී ලාංකිකයන් 915 දෙනෙකු සඳහා ද්විත්ව පුරවැසි සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, ඔ්ස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය ඇතුලු රටවල් කිහිපහක පුරවැසි බව ලබා සිටින ශ්‍රී ලාංකිකයන් මෙලෙස ද්විත්ව පුරවැසි භාවයට හිමිකම් ලබා තිබේ.
ද්විත්ව පුරවැසි භාවය ලබා දීමේ ක්‍රමවේදය ආරම්භ කර ඇත්තේ 1987 වර්ෂයේ දී ය.
2015 ජනාධිපතිවරණයෙන් පසු ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ නව ක්‍රමෝපායයක් සකස් කර ඇති අතර ඉන් 2015 මාර්තු මස 23 වැනි දින සිට පුද්ගලයන් 36,080ක් සඳහා අවස්ථා 23ක දී පුරවැසි සහතික පත් ප්‍රධාන කර තිබිණි. මේ අනුව අද ද්විත්ව පුරවැසි භාවය ලැබූ ශ්‍රී ලාංකිකයන් 915 දෙනා ද සමග මෙතෙක් ද්විත්ව පුරවැසි බවට හිමකම් ලබා ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 36,995 දෙනෙකි.
ද්විත්ව පුරවැසි ප්‍රදානය කිරීමේ උත්සව සභාව අමතමින් අමාත්‍ය වජිර අබේවර්ධන මෙසේ කීවේය.
1987 වර්ෂයේ දී මුල්වරට ද්විත්ව පුරවැසි බව ලබා දීම ආරම්භ කරන අවස්ථාවේ එවකට සිටි විපක්ෂය මෙයට ලොකු විරෝධතාවක් දැක්වුවා. නමුත් මේ ඉතා වැදගත් දෙයක්. අපේ ශ්‍රී ලාංකිකයන් හැටියට උපත ලබලා පිටරටවල ජීවත් වෙමින් වෙනස් අත්දැකීමක් ලැබූ පුද්ගලයන්ට මේ රටට නැවත පැමිණ මේ රටේ දියුණුවට, සංවර්ධනයට, ප්‍රගමනයට දායක විය හැකි අවස්ථතාවක් මෙයින් උදාවෙනවා. පසුගිය කාලයක් යුද්ධය නිසා ද්විත්ව පුරවැසි බව ලබා දීම නැවතී තිබුණා. දැන් එය නැවත ආරම්භ කර තිබෙනවා.
මේ ද්විත්ව පුරවැසි බව ප්‍රධානය කිරීමට ඉදිරිපත් කරන අයදුම් පත්‍රයේ වචනයක් නෑර පරීක්ෂා කර බලන නිසා ක්‍රමවේදයට යම් කාලයක් ගත වෙනවා. නමුත් අපි මෙය තවත් කඩිනම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇතැම් අවස්ථාවල දී මේ දීර්ඝ ක්‍රමවේදය නිසා පිටරට සිටින ලාංකිකයන් ඒ සඳහා අයදුම් කරන්න උනන්දු වෙන්නේ නැහැ. මෙය කාර්යක්ෂම කිරීමේ අභියෝගය අපිට තිබෙනවා. පිටරටවල ඉන්න ලාංකිකයකුට දරුවෙක් ඉපදුනාම අපේ තානාපති කාර්යාලයට පැමිණ ඒ බව දැනුම් දුන්විට මෙහේ පරිගණක දත්ත පද්ධතියට එය ඇතුලත් කිරීමේ ක්‍රමවේද සකස් කළ යුතුයි. අපි කොල පුරවලා කරන වැඩේ තාක්ෂණයෙන් කරන තැනට ගෙන ආ යුතුයි. අපි මේ ක්‍රමවේදවල යම් තරමකින් ඉස්සරහට ගිහින් තිබුණත් තවත් ඉස්සරහට යාමේ අවශ්‍යතාවක් තිබෙනවා.


