අය -වැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙන අප්‍රේල් 05 වනදා ඒකාබද්ධ විපක්ෂය සමඟ එක් වී අය-වැයට එරෙහිව ඡන්දය භාවිත කර, එජාපෙ ආණ්ඩුවට බරපතල බපපෑමක් එල්ල කිරීම සඳහා ජනාධිපතිවරයා, ලබන සඳුදා (01) තීරණාත්මක සාකච්ඡාවක් කැඳවා ඇතැයි රාවය පුවත්පත වාර්තා කරයි.
අය-වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජනපතිගේ උපදෙස් මත ඡන්දය දීමෙන් වැළැකී සිටි අතර අවසන් ඡන්ද විමසීමේදී එම තීරණය වෙනස් වනු ඇතැයි ද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් උපුටා දක්වමින් රාවය පුවත්පත වාර්තා කර ඇත.
වැඩිදුරටත් එම පුවතේ මෙසේද දැක්වේ.
විශේෂයෙන් එජාප පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට බරපතළ වාග් ප්‍රහාර එල්ල කිරීමත්, ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා බිඳ වැටීමේ අනතුරත් ඉදිරි විශේෂ සාකච්ඡාවේදී දැඩි අවධානයට ලක් වනු ඇතැයි එම ජ්‍යෙෂ්ඨයා ප්‍රකාශ කළේය.
මේ අතර පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් රාවයට ප්‍රකාශ කළේ, අය-වැය තුන්වන වර කියවීමේදී එය පරාජය කිරීම ස්ථාවරය හා සැලසුම වී ඇති බවය. අය-වැය පරාජය කිරීම සඳහා ශ්‍රීලනිපය මෙවර ඡන්දය භාවිත කරනු ඇතැයි අපේක්ෂා පළ කළ ඔහු එසේ නොවුනහොත් සන්ධානයක් ගොඩ නැගීමට දේපාර්ශ්වය අරඹා ඇති සාකච්ඡා සඳහාද එය අහිතකර ලෙස බලපානු ඇතැයි අවධාරණය කළේය.
කෙසේ වෙතත් අය-වැය පරාජය කිරීමේ පැහැදිලි සැලැස්මක් ඇත්නම් ඒ සඳහා සහයෝගය දීමට ශ්‍රීලනිපය තීරණයක් ගනු ඇති බවත් එජාපෙ ආණ්ඩුවේ පිරිසක් වුවද එවැනි පැහැදිලි සැලැස්මකට සහයෝගය දෙනු ඇතැයි ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව ශ්‍රීලනිප 6 දෙනාද සමඟ එජාපෙට මන්ත්‍රීවරුන් 106ක් සිටින අතර එජාපයෙන් පැමිණි 6 දෙනාද ජවිපෙ 6 ද සමඟ විපක්ෂයට සිටින්නේ 104 දෙනෙකි. දෙමළ සන්ධානයේ 14 දෙනාගේ හා විපක්ෂයේ සිටින ලංකා කම්කරු කොන්ග්‍රසයේ දෙදෙනාගේ සහයද අය-වැය දෙවන වර කියවීමේදී එජාපෙ ආණ්ඩුවට ලැබිණි.
(මූලාශ්‍රය - රාවය )

