කතා වැඩි වැඩ අඩු රුහුණු පුත්‍රයින් ගැන අගමැති කියයි !

කතා වැඩි වැඩ අඩු රුහුණු පුත්‍රයින් ගැන අගමැති කියයි !

රුහුණ ගැන කතා කිරීමට රුහුණු පුත්‍රයින් බොහෝ පිරිසක් සිටියද රුහුණ සංවර්ධනය කිරීමට කිසිවකු නොසිටි බවත් රජරට යුගයෙන් පසු රුහුණ සංවර්ධනය කිරීමට පියවර ගත්තේ වත්මන් ආණ්ඩුව බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය (30) වැනිදා වීරවිලදී පැවැසීය.

පළාත් සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා පවත්වාගෙන යෑමට විපක්‍ෂයට සැබෑ උවමනාවක් නොමැති නිසා පසුගිය (28) වැනිදා විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය පාවිච්චි කර එය පරාජයට පත් කළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ නිසා අප්‍රේල් මාසයෙන් පසු එම ආයතන පවත්වාගෙන යෑමට මුදල් නොමැති බව අනාවරණය කළේය.

රුපියල් ලක්‍ෂ 3500 ක වැය කරමින් ඉදිකිරීමට යෝජිත හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයට වීරවිලදී මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා දීපු සහයෝගය නිසා අද අපිට හම්බන්තොට යොවුන් පුරය පැවැත්වීමට හැකි වුණා. එතුමා මෙහි වගකීම කරට ගනිමින් මෙහි වැඩ කටයුතු සිදු කළා. මෙය ඉතා සාර්ථක යොවුන් පුරයක් ලෙස හැදින්විය හැකියි. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ප්‍රදේශය දියුණු කිරීමට විශාල වැඩ කොටසක් සිදු කරනවා. ඒ වෙනුවෙන් අපෙන් විශාල ලෙස ඉල්ලීම්ද සිදු කරනවා.

මේ ආකාරයට අපි ග්‍රාමීය මට්ටමේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකරමින් සිටිනවා. ඒ වගේම ජාතික මට්ටමේ සංවර්ධනය වෙනුවෙන්ද අපි මේ වන විට ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටිනවා. එහි එක් පියවරක් ලෙස පසුගියදා හම්බන්තොට තෙල් පිරිපහදු මධ්‍යස්ථානයත්, සිමෙන්ති කර්මාන්ත ශාලාවත් ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කළා. එවැනි ආයෝජන රාශියක් තවදුරටත් මෙහි සිදු කිරීමට නියමිතයි. ඒවා හරහා හම්බන්තොට අයෝජන කලාපය ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වනවා. ඒ අනුව රුහුණු පුරවරය ශ්‍රී ලංකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් වනවා.

රජරට යුගයෙන් පසුව රුහුණට මෙවැනි සංවර්ධනයක් ඇති වන පළමු අවස්ථාව මෙයයි. ඒ කාලයේ අනුරාධපුරය රටේ ආර්ථිකයේ ප්‍රධාන තැන ගත් අතර දෙවන තැන හිමිව තිබුණේ රුහුණටයි. වර්තමානයේ රුහුණ ගැන කතා කිරීමට නම් බොහෝ දෙනා සිටිනවා. බොහෝ රුහුණු පුත්‍රයින් සිටියත් රුහුණ සංවර්ධනය කිරීමට කිසිවෙකුත් සිටියේ නැහැ. එම නිසා අපේ සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා එම කටයුතු භාර ගනිමින් මේ ප්‍රදේශය සංවර්ධනය කරමින් සිටිනවා.

යොවුන් පුරය ඉලක්ක කර ගනිමින් මෙම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගනය ඉදිකිරීමට අපි තීරණය කළා. ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාටත්, හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමාටත් අපි ස්තූතිවන්ත විය යුතුයි. දැන් හම්බන්තොට තරුණ ඔබට ඔබේ දක්‍ෂතා ප්‍රදර්ශනය කිරීම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගනයක් තිබෙනවා. මෙවැනි ක්‍රීඩාංගන නොමැති නම් ඔබේ ක්‍රීඩා හැකියාවන් දියුණු වන්නේ නැහැ.

ජාත්‍යන්තර වශයෙන් ආර්ථිකයක් ඇති කරන විට අපි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගන වැනි යටිතල පහසුකම් වර්ධනයද සිදු කළ යුතුයි. එම නිසා මෙම ක්‍රීඩාංගනය හරහා ඔබ සියලූ දෙනාටම අවස්ථාව ලැබෙනවා. මේ ක්‍රීඩාංගනයට අමතරව දිස්ත්‍රික් තරුණ මධ්‍යස්ථානයක් ඔබට ඉදි කරදීමටත් අපි කටයුතු කරන බව මම මේ අවස්ථාවේ පවසනවා.

මෙම ක්‍රීඩාංගන හරහා දරුවන්ගේ ක්‍රීඩා දක්‍ෂතා වැඩි දියුණු කිරීමට විවිධ ක්‍රීඩා උගන්වන්නට කටයුතු කළත් මෙම ප්‍රදේශයේ ඇතැම් අය දක්‍ෂතා දක්වන මිරිස් කුඩු ගැසීමේ ක්‍රීඩාව නම් දරුවන්ට උගන්වන්නට එපා යැයි මම පවසනවා.

මෙම සංවර්ධන කටුයුතු මීට පෙර සිදු නොවූයේ මන්දැයි මම විමසනවා. සජිත් පේ‍ර්මදාස ඇමැතිතුමා පැමිණෙන තුරුම මෙම සංවර්ධන කටයුතු සිදු නොවූයේ ඇයි? එදා ඔවුන් අලි ඇතුන් ජීවත්ව සිටි කැලෑවෙන් පන්නා දමා "ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය" යනුවෙන් පුවරුවක් සවි කළා. නමුත් එහි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වීමට නොහැකියි. එක් තරගයක් හෝ පවත්වන්නේ ඉදිහිට පමණයි. එය සහරා කාන්තාරයට වර්ෂාව පැමිණෙනවා මෙන් කලාතුරකින් සිදුවන දෙයක්. මෙම ප්‍රදේශයේ සිටි අලි ඇතුන් රංචුවට නිදහසේ සිටීමට තිබූ ඔවුන්ගේ නිජබිම පවා නැතිවී ගියා. ඔවුන් ඊට වියදම් කළ මුදල් මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට ලබා දුන්නා නම් ඊට වඩා විශාල ප්‍රයෝජනයක් ගත හැකිව තිබුණා.

හම්බන්තොට සමන්ත්‍රණ ශාලාවට වියදම් කර ඇති මුදල පිළිබඳ සැළකිළිමත් වනවා නම් මහරගම තරුණ සේවා සභාවටත් වඩා විශාල මධ්‍යස්ථානයක් මෙහි ඇති කිරීමට හැකිව තිබුණා. ඒ ආකාරයට මුදල් අවභාවිතා කළේ ඇයි යන ප්‍රශ්නය මට මීට පෙර සිටි පාලකයින් ගෙන් විමසීමට තිබෙනවා. ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීමට ගමේ තරුණ තරුණියන්ගේ කලා හැකියා වර්ධනයට අවශ්‍ය පහසුකම් ලබා දීමට මීට පෙර සිටි පාලකයින් කටයුතු කළේ ඇයි.

ඔවුන් මුදල් නාස්ති කළත් අපි කරන්නේ සංවර්ධනයයි. ආණ්ඩුවක් ලෙස අපේ ප්‍රතිපත්තිය ග්‍රාමීය සංවර්ධනයයි. අපේ බලය ප්‍රාදේශීය සභා තුළ නොමැතිවුවත් මහා ආණ්ඩුව ලෙස සැම ප්‍රාදේශීය සභාවකට මුදල් ලබාදී තිබෙනවා. නමුත් ඉදිරියේදී පළාත් සභා ප්‍රාදේශීය සභා වලට මුදල් ගෙවීමටත් නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. එම තත්ත්වය ඇති කළෙත් දැනට ප්‍රාදේශීය සභාවල බලය තිබෙන අය විසින්මයි. පළාත් සභා වැය ශීර්ෂය කපා හැරියේ ඔවුන්මයි. ඔවුන් එපා කියනවා නම් මුදල් වෙන් කරන්නේ කෙසේද?

නගර සභා මහනගර සභාවලට අපි මුදල් වෙන් කරනවා. ඔවුන්ට මුදල් අවශ්‍යයි. මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා 12 ක් තිබෙනවා. අප්‍රේල් මාසයේ එම කිසිදු ප්‍රාදේශීය සභාවකට මුදල් වෙන් කිරීමට හැකියාවක් නැහැ. මහ ආණ්ඩුවෙන් මුදල් අවශ්‍ය නැත්නම් ප්‍රාදේශීය සභාවලට එකතු වන මුදල් වලින් පමණක් පාලනය ගෙන යන්නට හැකියිද? පළාත් සභා වැය ශීර්ෂය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් අපි ඡන්දය ලබා දුන්නා. නමුත් ඔවුන් එය පැරදවීමටයි ඡන්දය ලබා දුන්නේ.

ප්‍රාදේශීය සභාවට මුදල් අවශ්‍ය නැහැ යැයි විපක්‍ෂය පවසනවා නම් ඔවුන්ගේ බලාපොරොත්තුව කුමක්දැයි මම දන්නේ නැහැ. ඒ පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගත යුතුයි. අප්‍රේල් 30 වනදා මේ සියලූ වැඩ කටයුතු අතරමග නතර වීමට ඉඩ තිබෙනවා. වැය ශීර්ෂය පරාද කිරීමට කටයුතු කළේ ඇයි දැයි ඔවුන්ගෙන් විමසිය යුතුයි. මෙවැනි මිනිසුන්ට කියන්නේ "තමන්ගේම නහය තමන් විසින් කපා ගන්නා ජාතියේ මිනිසුන්" යනුවෙනුයි.

රටේ අනෙක් ආයතන වෙනුවෙන් අපි මුදල් වෙන් කරනවා. නමුත් ඔවුන් පරාජය කළ වැය ශීර්ෂයට සිදු කරන්නේ කුමක්දැයි අප දන්නේ නැහැ. ඔවුන්ගේ වැඩ කටයුතු නිසා ආණ්ඩුකාරවරුන්ටත් මුදල් නොමැති වනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්‍ෂයේ සිටි කාලයේ සිටම විශාල උත්සාහයක් ගත්තා. එම නිසා එතුමා විශාල වැඩකොටසක් සිදු කරමින් සිටිනවා. දිලිප් වෙදආරච්චි මැතිතුමාට හම්බන්තොට ධීවර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මම උපදෙස් ලබා දුන්නා. ඒ වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. අපේ යටතේ තිබෙන ප්‍රාදේශීය සභාවලට මහානගර අමාත්‍යංශය යටතේ මුදල් ලබා දෙන බව මම අවසාන වශයෙන් පවසා සිටිනවා.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක හා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

02 4

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න