Language Switcher

V2025

දේශප්‍රේමී කොඩිය මහින්දගෙන් ගෝඨා ට දෙයි

මෙතෙක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සතුව තිබූ ඊනියා දේශප්‍රේමී කොඩිය ඔහු වෙතින් ඉවත්කර සූක්ෂම ආකාරයට ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදීමට ජාතිවාදී සංවිධාන ක්‍රියාකරමින් සිටියි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙම සංවිධාන වල අපේක්ෂාව වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂව රාජපක්ෂ කදවුරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම කඩිනම් කිරීම සහ ඔහුට එම අවස්ථාව ලබානොදීම ට ඇති ඉඩ අවුරාලීමය.

ඒ වෙනුවෙන් අදාල සංවිධාන නියෝජිතයන් මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වියයුතු බවට කරුණු දක්වමින් පත්තර පිටු පුරවමින් සහ අනෙක් මාධ්‍ය හරහා ද පුලුල් ප්‍රචාරයක් දියත්කර තිබේ.

පහත දැක්වෙන්නේ එවැනි ලිපියකි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජාතිකවාදී, වාමවාදී, ප්‍රගතිශීලී සමාජ බලවේග වල පොදු අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බවට මේ වනවිට එතුමා විසින්ම යම් ඉඟි පළ කොට ඇත. නුදුරු දිනයකදී ඊට අදාලව මහින්ද රාජපක්ෂ මහතා විසින් ම පැහැදිලි ප්‍රකාශයක් සිදුකරනු ඇති බවටද විවිධ පාර්ශ්ව අදහස් දක්වති. ඒ අතර පොදු ජන පෙරමුණ හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වය පැත්තෙන් කියවෙන්නේ ජනාධිපති අපේක්ෂකයා එම පක්ෂයෙන් සහ පොහොට්ටුව ලාංඡනය යටතේ ඉදිරිපත් කෙරෙන බව ය. එසේ ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට ද ප්‍රකාශ නිකුත් වේ. ඊට සමගාමීව එක්සත් ජාතික පෙරමුණ පැත්තෙන් මත දෙකක් ඉදිරිපත් වේ. එක් මතයකට අනුව ඔවුන් මෙවරද ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයෙකි. අනෙක් මතයට අනුව ඉදිරිපත් කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙකි. ජනතා විමුක්ති පෙරමුණ විසින්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙන බව එම පක්ෂයේ යම් නායකයින් විසින් ඉඟි පළ කොට ඇත.

කේවල් කිරීමේ උපක්‍රමයක් ලෙස සහ සැබෑ අරමුණ සැඟවීම සඳහා ව්‍යාජ ඝෝෂාවක් මතු කිරීමේ වුවමනාව මත විවිධ පිර්ශව විසින් ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කරන බව ඓතිහාසික සත්‍යයකි. එහෙත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ඉහත සඳහන් කළ ප්‍රබල පාර්ශව හතරෙන් දෙකක් යම් කොන්දේසි මත අනෙක් පාර්ශවය සමග එකතු වීමේ වැඩි ඉඩක් ඇත. ඒ අනුව ඊට පහසුකම් සැපයීම හෝ බාධක පැනවීම යන සාධක දෙක මත ජයග්‍රාහකයා තීරණය විය හැක. ගෝඨාභය මෛත්‍රී එකඟතාවය මෙන්ම අනුර- රනිල්-මෛත්‍රී එකඟතාවය ඇති වීම හෝ නැති වීම මත ප්‍රතිඵලය තීරණය විය හැක. පසුගිය මැතිවරණවලදී විවිධ එකඟතාවයන් ඇතිවූ සහ බිඳ වැටුණු ආකාරය අධ්‍යනය කිරීමේදී ඊට අදාලව යම් න්‍යායාත්මක පිළිගැනීම් හෝ පැහැදිලි කිරීම් ප්‍රමාණයක් හඳුනාගත් හැක. ඒ අතරින් පළමුවැන්න එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ඉදිරිපත් කෙරෙන පොදු අපේ අපේක්ෂකයා කවුරුවුවත් ඔහු හෝ ඇය ජනතා විමුක්ති පෙරමුණට ‘‘කැත නැතිව‘‘ කර තබා ගෙන යා හැකි අයෙක් වීම ය. ඒ අනුව එම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය තුළින් තෝරා ගත හොත් ඔහුට එම පක්ෂයෙන් ඉවත් වී නිර්පාක්ෂික ලේබලයක් අලවා ගැනීමට සිදුවේ.

එම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් පරිබාහිර අයෙක් නම් ඔහු හෝ ඇය කැත නැතිව පොදු අපේක්ෂකයා ලෙස බෞතීස්ම කෙරෙනු ඇත. එවැනි තත්ත්වයකදී ජනතා විමුක්ති පෙරමුණ විසින් විවිධ කොන්දේසි ඉදිරිපත් කොට එම අපේක්ෂකයාට සහාය දීම සාධාරණීකරණය කරනු ඇත. එම කොන්දේසි අතරට ඊනියා නිර්පාක්ෂික ලේබලයට අමතරව ජනාධිපතිවරණය ජනමත විචාරණයක් බවට පත් කරමින් නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කිරීම යන්න ද ඇතුළත් වනු ඇත. ඊට අමතරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ ජයග්‍රාහී අපේක්ෂකයා තනතුරින් ඉවත් වී පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන විධායක නොවන ජනාධිපතිට ඉඩ සැලසිය යුතු බවටද අතුරු කොන්දේසි පැන වෙන බවට සැකයක් නැත. එවැනි තත්ත්වයකදී 2010දී සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙන් පොදු අපේක්ෂකයා කරේ තබා ගෙන යාමේ ප්‍රබල භූමිකාවක් ජනතා විමුක්ති පෙරමුණට හිමිවනු ඇත. එම සුවිශේෂී භූමිකාවේ ආනිශංසයෙන් එම පක්ෂයට බොහෝ සම්පත් මෙන්ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි ආසන ප්‍රමාණයක් දිනා ගැනීමේ වාසනාවද හිමිවිය හැක. ඊට අමතරව එහිදී ටී.එන්.ඒ පක්ෂය යම් අමතර කොන්දේසි ප්‍රමාණයක් ඉදිරිපත්කළ හැකි වුවත් ඔවුන්ගේ භූමිකාව ජ.වි.පෙ භූමිකාව සමගසමපාත වනු ඇත.

එම සූත්‍රයට අනුව රනිල් වික්‍රමසිංහ මහතා වැනි නිර්ලෝභී අති දක්ෂ උපාය මාර්ගික විශේෂඥයකු මෛත්‍රී සාධකය කළමනාකරණය කිරීම සඳහා ඉහළ වටිනාකමක් ලබාදෙන බවට සැකයක් නැත එවැනි තත්ත්වයකදී ඊට ප්‍රතිවිරුද්ධ උපායමාර්ග තෝරන බව කියන තමා විසින්ම උපායමාර්ගික විශේෂඥයකු ලෙස හඳුනාගන්නා නායකයන් එම සටන් බිමේදී අඟුටුඟුටුමිට්ටන් බවට පත්විය හැක. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය නව ව්‍යවස්ථාවක් සම්මත කෙරෙන ජනමත විචාරණයක් බවට පත් කෙරෙන්නේනම් සහ ඒ. මගින් ජයග්‍රහණය කරන අපේක්ෂකයා විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා නම් ඊට අදාල දේශපාලන සමීකරණය තුළ මෛත්‍රී සාධකයට ආකර්ෂණීය ඉඩක් ඇත. පසුගිය කාලයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කළ ප්‍රහාර හමුවේ වික්‍රමසිංහ මහතා හැසිරෙන ආකාරය අනුව ඔහු කෙතරම් පරිනත සහ තමාගේ අරමුණට අදාළව කෙතරම් දූරදර්ශී අයෙක්ද යන්න මැනවින් ප්‍රකාශය විය. ඔහු එක් වචනයකින් හෝ ඉඟියකින් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිත රිදවීමට ක්‍රියා නොකලා පමණක් නොව ඒ බව ඒත්තු ගැන්වීමට ද ප්‍රශස්ත ලෙස උත්සාහ කළේය. ඒ සියලු කරුණු අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහනය මෛත්‍රී – අනුර – සම්බන්ධන් යන සාධක ත්‍රිත්වය මත රඳා පවතින බව පැහැදිලි වේ.

නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂකයාට සාපේක්ෂ්ව ස්ථානගත කෙරෙන බවක් මේ වන තුරු පෙනෙන්නේ නැත. එක් පැත්තකින් එම අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙකු ලෙස ස්ථානගත කිරීම වෙනුවට පොදු ජන පෙරමුණ නම් වූ නව පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කිරීම සිදු වේ. අනික් පැත්තෙන් පොදු අපේක්ෂකයකු නම් කිරීම සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසියක් වන මහා පොදු දේශපාලන සන්ධානයක් ගොඩ නැගෙන්න බවක් දක්නට නැත. එසේම එම පොදු අපේක්ෂකයා පුද්ගලිකව මහින්ද රාජපක්ෂ මහතාගේ කැමැත්ත හෝ අකමැත්ත මත තෝරන බවක් ප්‍රකාශයට පත් කිරීම තුළ මහා ජාතිකවාදී, වාමවාදී පොදු සන්ධානයක අවශ්‍යතාවය අවතක්සේරුවේ. එදා 1956 මහා සමාජ පෙරළිය වැනි සුවිශේෂී පෙරළියකට හෝ වෙනසකට සමාජය තුළ විලිරුදාවක් අද පැවැතිය ද එවැනි පෙරළියකට මුල්වන ජාතික එකඟතාවක් හෝ පොදු වැඩපිළිවෙළක් පිළිබඳව සංවාදයක් සිදු වන්නේ නැත. ඇත්ත වශයෙන්ම මහාදේශපාලන සන්ධානයක් බිහි විය යුත්තේ රට වෙනස් කරන එවැනි උපායමාර්ග රාමුවක් මුල්කොටගෙනය. දැන් පවතින තත්ත්වය තුළ යම් පිරිසක් දැනුම්වත්ව එම වැදගත් පූර්ව කොන්දේසි දෙකම අවතක්සේරුවට ලක් කරන බව පැහැදිලිව පෙනේ.

ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ වැනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ලෙස ස්ථානගත කළ හැකි චරිතයක් යම් පක්ෂයක අපේක්ෂකයකු ලෙස නම් කිරීම අවාසිදායක බව පැහැදිලිව තේරුම්ගත හැක. විශේෂයෙන් ම ප්‍රති වාදියා ව්‍යාජ ලෙස හෝ පොදු අපේක්ෂකයෙකු ලෙස නම් කරන තත්වයක් යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු අපේක්ෂකයායෙකු ලෙස නම් කිරීම් වාසිදායක බව ළමයෙකුට වුව ද තේරුම් ගත හැක. එම තේරුම් ගැනීමේ අඩුපාඩුව නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාටම තමා ස්ථානගත කිරීමට සිදුවී ඇත ආම්භයේ දී ‘’එළිය’’ වැඩසටහන බෙදුම්වාදී ව්‍යවස්ථා ක්‍රියාවලියට එරෙහිව ‘’ස්ථානගත කෙරුනත්’’ මේ වන විට ඒ තුළින් තමා ස්ථානගත කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යම් සාධාරණ ප්‍රමාණයකට උත්සාහයක් කරන බව පෙනේ. එහෙත් ඔහු විසින්ම මීට පෙර සඳහන් කළ ආකාරයට ගෝඨා ප්‍රතිරූපය අතපය, හිස, කඳ, ලෙස කෑලි වශයෙන් ස්ථානගත කිරීමට උත්සාහ කිරීම වරදක් පමණක් නොව මහා ජාතික අපරාධයකි. ඊට හේතුව එවැනි චරිතයක් සාපේක්ෂව මහා සමාජය තුළ ඉතා ඉහළින් ස්ථානගත කිරීමේ විභවයක් පැවතීමය.

කෙසේ වෙතත් විවිධ පිරිස් සද් භාවයෙන් මෙන්ම යම් යටි අරමුණු සහිතව ද ගෝඨාභය චරිත්යේ විවිධ ගුණාංග පිළිබඳව කතා කරති. උදාහරණයක් ලෙස මෑතකදී මෙම ලියුම්කරුට මුණගැසුනු ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු පැවසුවේ ගෝඨා වැනි ඒකාධිපතියෙකු නොමැතිව මේ රට හදන්න බැරි බවය. එම ප්‍රකාශය එම පක්ෂයේ කටකතා මැෂිමෙන් නිෂ්පාදනය කෙරෙන්නක් විය හැක. සැබෑ ගෝඨා චරිතයේ එවැනි ලක්ෂණයක් දක්නට නැතත් යුද්ධය ජයග්‍රහණය සඳහා ඔහු විසින් ඉටු කළ තීරණාත්මක භූමිකාව නිසා එම පින්තූරය ඔහුට ආරෝපණය කිරීමේ හැකියාව ඇත. ඇත්ත වශයෙන්ම ඒකාධිපතියෙකුගේ ප්‍රධාන ලක්ෂණයක් වන බල තණ්හාව ඔහු විසින් ප්‍රදර්ශනය කොට නැත. ජනරාල් සරත් ෆොන්සේකා වැනි චරිතයක් සමග සංසන්දනය කිරීමේදී ගෝඨා චරිතය තුළ එවැනි ලක්ෂණයක් ඇත්තේ ම නැති බවටද තර්ක කළ හැක.

ඔහුට අසීමිත බල තණ්හාවක් තිබුණේ නම් යුද . ජයග්‍රහණයේ කීර්තියෙන් වැඩි කොටස කෙසේ වෙතත් යම් සාධාරණ කොටසක් තමා වෙත පවරා ගනිමින් බලවත් දේශපාලන භූමිකාවක් අතට ගැනීමට ඉතා හොඳ ඉඩකඩක් තිබුණි. නමුත් ඔහු තෝරාගත්තේ නිලධාරියෙකු ලෙස වැඩකිරීමේ භූමිකාවය. එම භූමිකාව ‘’අණ දීමේ’’ භූමිකාවට වඩා වැඩ කිරීමේ භූමිකාවක් බව ඔහුගේ වැඩ රටාව තුළ කාර්යක්ෂමතාවයට මුල්තැන දීම තුළින් පැහැදිලි වේ. එම කාර්යක්ෂමතාවයට ප්‍රතිඵලදායක ලෙස උපායමාර්ගික මඟ පෙන්වීම ලබා දීම වැදගත් බවට විවාදයක් නැත. අණදෙන්නා හෙවත් සංවිධායකයකයා හෝ කළමනාකරුවා නායකයාගෙන් වෙනස් වන්නේ උපායමාර්ගික මඟ පෙන්වීමට මුල්තැන දීම තුළ ය. වෙනත් වචනවලින් කියන්නේ නම් කාර්යක්ෂමතාවය සහ ප්‍රතිඵල දායකත්වය අතර තුලනය මැනවින් පවත්වාගෙන යාම තුළ ය. නායකයා සෑමවිටම උපාය මාර්ගික ප්‍රවේශයට මුල් තැන දෙන අතර එය හිස් මුදුනේ තබා ගෙන කටයුතු කරයි. යුද්ධයේ ජයග්‍රහණයට මුල් වූයේ උපායමාර්ගික ප්‍රවේශයන්ය. වැරදි උපාය මාර්ගික ප්‍රවේශයක් තුළ කොතරම් කාර්යක්ශම වුවද අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරගත නොහැක.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ යනු අද ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන අභාග්‍යසම්පන්න ඉරණමින් ගලවාගෙන නැවත නඟා සිටුවීමේ අභියෝගයට මුහුණ දිය හැකි නිර්ලෝභි පරිත්‍යාගශීලී නායකයා ලෙස ස්ථානගත කිරීම වැදගත් වේ. සැබැවින්ම එම හැකියාව ඔහු සතු බව ප්‍රායෝගිකව ඔහු විසින්ම ඔප්පු කොට ඇත. යුද්ධයෙන් රට බේරා දී දේශපාලන නායකත්ව භූමිකාවක් අතට නොගෙන වගකීම් ඉටු කොට බැස යාම හෙවත් ජයග්‍රහණයෙන් පසු අත්හැරීම යනු එක්තරා ආකාරයකක බෝධිසත්ව ගුණයක් ලෙස හැඳින්විය හැක. ඉතා සංකීර්ණ වර්තමාන දේශපාලන අර්බුදය පරාජය කොට රටට ජයග්‍රහණ අත්පත්කර දිය හැක්කේ එවැනි ගුණයක් සහිත නායකයෙකුට පමණි. ඔහුගේ භූමිකාව වැඩ කිරීමේ භූමිකාවකට වඩා අන්‍යයන්ට වැඩ කිරීම සඳහා පාර කපා දී මේ භූමිකාවකි. එය එසේ වැඩ කරන මිනිසුන්ට අහසේ සිට මග පෙන්වන ආධ්‍යාත්මික නායකත්ව භූමිකාවකි. විධායක ජනාධිපති තනතුර ඔහුට වැදගත් වන්නේ සිදුවෙමින් පවතින විනාශය නතර කොට නිවැරදි උපායමාර්ගික හැරවුමට රට අවතීර්ණ කිරීමට මිස එම බලය යොදා ගනිමින් මෙහෙයුම් කාර්යක්ෂමතාව පවත්වාගෙන යාම හෝ හඹා යාම සඳහා නොවේ.

ගෝඨාභය රාජපක්ෂ නම් වූ පොදු අපේක්ෂකයාගේ ප්‍රති වාදියා පැමිණෙන්නේ මල්ටි බැරල් අවියක් අතැතිව බව දැන් ඉතා හොඳින් පැහැදිලි වෙමින් ඇත. එනම් සියලු ව්‍යසනයන්ට හේතුව ලෙස ඔවුන් විසින් හුවා දක්වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ස්ථාපිත කිරීම සඳහාය. එම බර අවියට මුහුණදීම සඳහා ගල්කටස් යොදාගගත නොහැක. එසේ නම් කළ යුත්තේ සතුරාගේ අවිය උදුරාගෙන ඉලක්ක සහගත ව ඌට පහර දීමය. එම න්‍යාය පිළිගන්නේ නම් සතුරා විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රට බෙදුම්වාදයට ගොදුරු කිරීමේ යටි අරමුණ සහිතව ගෙන එන ව්‍යවස්ථාව වෙනුවට රට බෙදුම්වාදීන්ගෙන් ගලවාගෙන සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන නව ව්‍යවස්ථාවක් අතින් ගෙන ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගෝඨාභය රජාජපක්ෂ මහතාට සිදු වනු ඇත.
එසේ වුවත් ජනතාව විසින් ඔහු බලයට පත් කරන්නේ බලයට පත් වූ විගස විධායක ජනාධිපති තනතුරු අත්හැර දමා විධායක නොවන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පත් කිරීම සඳහා පහසුකම් සැලසීමට පමණක්විධායක නොවකයැ නොවේ. එම නව ව්‍යවස්ථාව ජනාධිපතිවරණයෙන් පසුව අභිනවයෙන් පත්වන පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමෙන් පසුව ඔහු විසින් ජනතාවට ලබාදෙන මූලික පොරොන්දු හෙවත් උපායමාර්ගික හැරවුමට අදාල පොරොන්දු ඉටු කිරීම සඳහා යම් කාලයක් විධායක ජනාධිපති තනතුර හෙබ වීමට ඔහුට සිදුවනු ඇත. බොහෝවිට එම කාලය නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමෙන් පසු වසරක කාලයක් නම් ඒ බව නව ව්‍යවස්ථාවේ අන්තර්කාලීන ප්‍රතිපාදනයක් ලෙස ඇතුලත් වනු ඇත. ඒ අනුව එම කාලය තුළ ඔහු විසින් පොරොන්දු වන උපායමාර්ගික හැරවුමට අදාළ අණපනත් සම්මත කිරීම ආයතන පිහිටුවීම සහ යාන්ත්‍රණය සකස් කිරීම යන වගකීම් ත්‍රිත්වය ඉටු කිරීමට ඔහුට සිදු වනු ඇත. ඔහු විසින් දරනු ලබන විධායක ජනාධිපති ධුරය අහෝසි වී විධායක නොවන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවව මගින් පත් කළ යුත්තේ එම කාලය ගත වීමෙන් පසුවය. ඉන්පසුව මහජනතාව ඔහුට ලබා දුන් ජනවරමට සිදු වන්නේ කුමක්ද? එම ජනවරම නව ව්‍යවස්ථාවට අනුකූලව උප අගමැති තන්තුරක් යටතේ නියෝජනය කිරීමේ බාධාවක් නැත. එසේම එම දේශපාලන සමීකරණය තුළ ගෝඨා – මෛත්‍රී සන්ධානයට රනිල්-මෛත්‍රී සන්ධානයට වඩා වැඩි ආකර්ෂණීය ඉඩක් විවෘත වේ. ඊට අමතරව ඒ තුළ රනිල් විකුමසිංඑ ඒ ආකාරයට විධායක ජනාධිපති ලෙස නිශ්චිත කෙටි කාලයක් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉටු කළ යුතු ජාතිකවාදී බලවේග අපේක්ෂා කරන දස වැදෑරුම් උපායමාර්ගික රාමුවක් මෙසේ ඉදිරිපත් කළ හැක.

ඒවා ඉදිරිපත් කිරීමේ සහ හැඳින්වීමේ පහසුව සඳහා නීතිමය රාමු ලෙස ඉදිරිපත් කෙරේ. ඊට අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නව ව්‍යවස්ථාවේ අන්තර්ගත විය යුතුය. එම උපාය මාර්ගික රාමුවට අදාළ නීතිමය රාමු සකස් කිරීම, සම්මත කිරීම සහ ඊට අදාළ ආයතන සහ යාන්ත්‍රණ පිහිටුවීම යන කර්තව්‍යයන් සියල්ල අයත් වේ. ඉන් පළමුවැන්න බෙදුම්වාදයට හා ජාතිවාදයට වැට බඳින සහ රණවිරුවන් ආරක්ෂා කරන ‘’දේශප්‍රේමි පනත’’ සම්මත කිරීමය. ඒ සඳහා ඇමෙරිකානු ආදර්ශය යොදාගත හැකි අතර ඒ මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ පනතක අත්‍යවශ්‍යතාවය අහෝසි වේ. නව ව්‍යවස්ථාවක 13 වැනි සංශෝධනය නැත. ඒ නිසා බෙදුම්වාදයට ගොදුරු නොවන ලෙස ප්‍රාදේශීය සභා ශක්තිමත් කෙරෙන අතර විධායක බලය පමණක් ක්‍රියාත්මක කරන නව පළාත් සභා ව්‍යුහය සකස් කළ හැක. එම ප්‍රතිපාදන යටතේ දේශප්‍රේමි පනතක් අවශ්‍ය වන්නේ බෙදුම්වාදී අනතුරින් සදාකාලිකවම රට ගලවා ගැනීමේ දේශපාලන වුවමනාව ඉටු කර ගැනීම සඳහාය.

දෙවන නීතිමය රාමුව සුළුජන අයිතිවාසිකම් පනත මගින් සියළු ජනකොටස් වලට නීතිය ඉදිරියේ සමානව සැලකීම තහවුරු කිරීමය. ඊට අමතරව ඒ මගින් යුද්ධය හේතුකොටගෙන යම් ජන කොටසකට මුහුණදීමට සිදුවී ඇති විශේෂ දුක් ගැනවිලි වලට පිළිතුරු සෙවිය හැක. බෙදුම්වාදී ජාතිවාදී බලවේග වලට යටත් නොවන 65% ක අධික සුළු ජන කොටස් දිනාගැනීම සහ ඔවුන්ට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම යනු ගෝඨාභය රාජපක්ෂ මහතා මුහුණ දෙන ප්‍රබල අභියෝගයකි.මෙම ප්‍රවේශය තුළ එම අභියෝගය ජය ගැනීමේ මාවත වැටී ඇත. කෙසේ වෙතත් සුළු ජන යන්න අර්ථකථනය කෙරෙන්නේ භූගෝලීය පරිපාලන ඒකකයට අනුව ය. උදාහරණයක් ලෙස දකුණු පළාතේදී ‘’මහ ජන’’ වන සිංහල ජනයා උතුරු පළාතේ දී ‘’සුළු ජන’ බවට පත්වෙයි. තුන්වන පනත සමාජ දුබලතා වැළැක්වීමේ සහ ආර්ථික ඉඩ ප්‍රස්ථා සහතික කිරීමේ පනතයි. ඒ සඳහා 1957 දී බණ්ඩාරනායක රජය විසින් උතුරේ ජනතාව කුල පීඩනයෙන් ගලවා ගැනීම සඳහා සම්මත කළ පනත සහ ඉන්දියාවේ ක්‍රියාත්මක ග්‍රාමීය ආර්ථික ඉඩ ප්‍රස්ථා සහතික කිරීමේ පනත ආදර්ශයට ගත් හැක. ඒ මගින් සමාජ සාධාරණත්වයට අදාල ප්‍රබල නීතිමය රාමුවක් සකස් වේ.

හතර වන නීතිමය රාමුව ආහාර සුරක්ෂිතතා පනතයි. ඒ මගින් විදේශීය ආහාර ආනයනය කරන මහා සමාගම් වලට අයුතු බදු සහන දෙමින් දේශීය ගොවියා සහ කෘෂිකර්මාන්තය මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරේ හෙලීම වැළැක්විය හැක. එය රටේ බහුතර ජනතාවකගේ එනම් ග්‍රාමීගොවීන් සහ සුළු නිෂ්පාදකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා මුල්වන උපායමාර්ගික ප්‍රවේශයකි. පස්වන උපායමාර්ගික නීතිමය රාමුව දේශීය කර්මාන්ත පද්ධතිය සහ දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වන ජාතික උපායමාර්ගික කර්මාන්ත ආරක්ෂා කිරීමේ පනතයි. ඒ මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සහ නිෂ්පාදකයා ආරක්ෂා කරන අතර විදේශ ආයෝජනවලට ඉඩ සලසන සමබර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් වේ.
හයවැනි නීතිමය රාමුව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පනතයි. ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ වෙළෙඳ ගිවිසුම් පනත ආදර්ශයට ගත හැක. එමගින් රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමට ඇති හැකියාව අවම කෙරෙන අතර රටට යහපත් ගිවිසුම් සඳහා මඟ පෙන්වීම සිදු කෙරේ. එම පනත යටතේ අදාළ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කරන පිරිස් විසින් යොදා ගන්නා ක්‍රමවේදය හා ඊට සහභාගීව වන පුද්ගල චරිත මෙන්ම අදාල ගිවිසුමේ නිශ්චිත වාසි අවාසි රටවැසියාට සහ පාර්ලිමේන්තුවට එළි එළිදරව් කිරීම්ට සිදුවේ. එවිට අද සිදු කරන ආකාරයට හොර රහසේ ගිවිසුම් අත්සන් කොට දේශීය ආර්ථිකය බිද වට්ටවා සමාගම් වලින් කොමිස් ලබා ගැනීමේ ඉඩකඩ ඇහිරේ.
හත් වන උපායමාර්ග නීතිමය රාමුව මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියා මර්දනය කිරීමේ සහ නිවාරණය කිරීමේ පනතයි. ඒ මගින් එම අරමුණට අදාලව පොලීසිය සහ හමුදාව ඒකාබද්ධව පිහිටුවන ප්‍රතිඵලදායක පරීක්ෂණ ක්‍රියාවලිය සහ කඩිනම් අධිකරණ ක්‍රියාවලිය මෙන්ම අදාල රැඳවියන් සඳහා විශේෂ බන්ධනාගාරයක් පිහිටුවීම ආදිය ආවරණය වේ. අට වන නීතිමය රාමුව වන ආගමික ප්‍රකාශන නියාමන පනත මගින් සමාජය තුළ ආගමික ඉගැන්වීම් විකෘති කිරීමට හෝ ප්‍රචණ්ඩ අරමුණු සඳහා යොදා ගැනීමට ඇති ඉඩ අවම කෙරෙනු ඇත. එමගින් සාහිත්‍යය හෝ මතවාද ප්‍රකාශයට වැට බැඳීමක් සිදු නොවේ.

නමවැනි උපායමාර්ගික නීතිමය රාමුව නව බුද්ධශාසන පනත සම්මත කිරීම සහ පවතින විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමය. ඒ මඟින් පවතින ව්‍යවස්ථාවේ අඩංගු වන සහ අනාගත නව ව්‍යවස්ථාවටත් අනිවාර්යෙන්ම ඇතුල් වන 9වැනි වගන්තියේ ප්‍රතිපාදන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුය. එවැනි පනතක් මගින් දැනට මතභේදයට තුඩුදී ඇති කථිකාවක් පනතක අවශ්‍යතාවය නිෂේධනය වේ. ඊට අමතරව ඓතිහාසිකව සඟ සතු ව පැවැති දේපල නැවත සඟසතු කිරීම ද සිදු වේ. දසවැනි නීතිමය රාමුව නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ පනතයි. නිදහස් සේවාවන් ආරක්ෂා කිරීම යනු පෞද්ගලික සේවා අහෝසි කිරීම් හෝ ඊට බාධක එල්ල කිරීම නොවේ. ඒ මඟින් පෞද්ගලික සේවා පොදු සමාජ අරමුණු මුල්කරගෙන නිසිලෙස නියාමනය කෙරෙන අතර නිදහස් සේවාවේ හරය හෙවත් යහපත් ගුණාංග අනාගත පරපුරට ඉතිරි කිරීම ද සිදුවේ.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර