Language Switcher

V2025

වැඩ ඇල්ලීමේ නැකතට : සමෘද්ධියේ වැඩ වර්ජනයක් !

සිංහල - හින්දු අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකත වර්ජනයකින් අරඹන්න සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සූදානම් වන බව වාර්තා වෙයි.

එම සංගමය සඳහන් කරන ලෙසට දිවිනැගුම පනත මගින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන 25000 ආසන්න සේවකයින් හට සිදු කර ඇති බරපතල සේවක අසාධාරණයට විසදුම් ලබා දෙනවා වෙනුවට සේවක අයිතීන් කොල්ල කෑමේ අරමුණින් ආණ්ඩුවේ උවමනාව මත නිකුත් කරන ලද 03/2019 අභ්‍යන්තර චක‍්‍රලේඛයට විරෝධය පළ කරමින් මේ වර්ජනය කැඳවා ඇත.

ඒ අනුව තීරණය කර ඇත්තේ අපේ‍්‍රල් 16 දින නැකතට ගණුදෙනු කිරීමේ චාරිත‍්‍රයට සමගාමීව සමෘද්ධි බැංකු හරහා ගණුදෙනු කිරීමේ ක‍්‍රියාවලිය වර්ජනය කරන දීප ව්‍යාප්ත සංඛේත වැඩ වර්ජනයක් දියත් කිරීමය.

සමෘද්ධි අධිකාරියෙන් දෙපාර්තමේන්තුවට අන්තර් ග‍්‍රහණය කිරීමට 2014 දී එවකට ආණ්ඩුව විසින් ලබා දුන් අවස්ථාව නැවතත් සංශෝධන කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් යුතු 2019.04.04 දිනැති DSD/HO/02/Ad/01/Circular යන 03/2019 අභ්‍යන්තර චක‍්‍රලේඛණය මගීන් වසර 19 ආසන්න කාලයක් සමෘද්ධි අධිකාරියේ හා සෙසු අධිකාරීවල සේවය කරමින් උපයා ගත් සේවක අර්ථසාධක අරමුදල් සේවකයින්ගෙන් නැවත ලබා ගැනීමට තීරණය කර ඇති බවද එම සංගමය පෙන්වාදෙයි.

සේවකයින් මෙතෙක් ලබමින් සිටින මූලික වැටුප අදාළ තනතුරේ ආරම්භක වැටුප තෙක් අඩු කරන අසාධාරණ තීරණයද උක්ත චක‍්‍රලේඛණයෙන් ගෙන ඇති අතර මෙම තත්ත්වය මත නිමා නොවන තවත් ගැටළු ගණනාවක් නිර්මාණය වී සේවකයින් කබලෙන් ලිපට වැටෙන තත්වයකට පත්ව ඇති බවද ඔවුන් පෙන්වාදෙයි.

ආණුඩුවේ තීරණය මත නිකුත් කරන ලද මෙම සේවක අසාධාරණ චක‍්‍රලේඛණය අහෝසි කරන මෙන් කොතෙක් ඉල්ලීම් කර ඇතත් එය ඉවත් කර නොගන්නා තීරණය මත එළඹෙන අපේ‍්‍රල් 16 සිංහල හා හින්දු අළුත් අවුරුදු ගණුදෙනු කරන නැකත් චාරිත‍්‍රයට අනුව දිවයිනේ සමස්ත සමෘද්ධි බැංකු වෙත එදිනට සමෘද්ධි සේවකයින් සේවයට වාර්ථා නොකර සිටීමට තීරණය කර ඇති බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තවද මෙම ගැටළුව දඩමීමා කර ගනිමින් පටු දේශපාලන වාසි වෙනුවෙන් අපේ‍්‍රල් 21 දින රටපුරා සමෘද්ධි බැංකු මගීන් සිදු කරන අපගේ සංස්කෘතික ගුණාංග විදහාපාන බක්මහ උළෙල කඩාකප්පල් කිරීමේ උත්සහයක ඇතැම් සංගම් නිරත වන බවද එම සංගමය පවසයි.

ඒ සඳහා ඉතුරුම් සතිය වෙනුවෙන් ජනතාවගේ ඉතිරුම් මුදල් ඒකාරාශී නොකර සිටීමේ කඩාකප්පල්කාරී කටයුත්ත පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර ඊට සිය සංගමයේ කිසිදු සහයක් ලබා නොදෙන බවද ඔවුන් පවසයි.