මිනී විකුණන මාධ්‍යට : ලේ සුවදට ඉව අල්ලන දේශපාලඥයන්ට : මංගලගෙන් අවධාරණයක් !

මිනී විකුණන මාධ්‍යට : ලේ සුවදට ඉව අල්ලන දේශපාලඥයන්ට : මංගලගෙන් අවධාරණයක් !

බෝම්බ ප්‍රහාරවලින් මියගිය අහිංසකයන්ගෙන් දේශපාලන වාසි ගැනීමේ ප්‍රයත්නය වහාම නවත්තන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉල්ලා සිටියි.

මළ මිනී ලෝකයට පෙන්වන මාධ්‍ය කලාව වහාම නවත්වන ලෙසත් සිදුවීම වාර්තා කිරීමේදී ශිෂ්ඨ සම්පන්න සම්ප්‍රදාය අනුගමන කරන ලෙසත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

එසේම මේවායින් සතුටක් තෘප්තියක් ලබන දේශපාලඥයන් පිරිසක් සිටින බවත් අපේ විපක්ෂ නායකතුමා දැන් මළ මිනී බල බල රූපවාහිනී කැමරා එක්ක යන බව සැලවී ඇති බවත් රාජපක්ෂලට කොහොමත් පණ එන්නෙ ලේ සුවඳ ආවම බව දන්නා බවත් අමාත්‍යවරයා සදහන් කර ඇත.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරන අතර එම නිවේදනය පහත දැක්වෙයි.

පාස්කු ඉරිදා මතුවූ මිලේච්ඡත්වය

පාස්කු ඉරිදා උදෑසන කතෝලික පල්ලි කිහිපයකටත් ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයකටත් එල්ල කරපු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර රජයේ මුදල් ඇමැතිවරයා ලෙස ඉතාමත්ම පිළිකුල් සහගත ලෙස හෙළා දකිනවා. මෙය තනි පුද්ගලයකුගේ ක්‍රියාවක් නොවන බව ඉතාමත් ම පැහැදිලි යි. ඉතාමත්ම සංවිධානාත්මකව, එකම වෙලාවට තැනින් තැන මෙවැනි බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ඇත්ත වශයෙන් ම 2015 අපි ආරම්භ කරපු ප්‍රජාතන්ත්‍රවාදී ගමන ආපස්සට හැරවීමේ කූඨ ප්‍රයත්නයක් බව ඕනෑම කෙනෙකුට පැහැදිලියි.

රජයේ වැඩපිළිවෙළ ආපසු හරවන කුමන්ත්‍රණයක් !

අපි 2015 ඉඳල ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය කියන කුලුනු මත මේ රට දියුණු කරල අද ක්‍රම ක්‍රමයෙන් මේ රට සෞභාග්‍ය කරා ගමන් කරනකොට යළි වතාවක් ලෝකයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සලකනකොට ඒ වගේම ආගම් වාදයට ජාතිවාදයට එරෙහිව රජය සාර්ථකව තමන්ගෙ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනකොට මේ සියල්ල ආපසු හැරවීමේ ප්‍රහාරයක් හැටියටයි අපි මේක දකින්නෙ.

සංචාරයක සහ ආගමික ස්ථාන ඉලක්ක කිරීම !

විශේෂයෙන් ම ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් ඉලක්ක වීමෙන් ම අද ඉතාමත් ම වේගයෙන් සීග්‍රයෙන් වෙමින් තියෙන සංචාරක ව්‍යාපාරය පිළිබඳ ඊර්ෂයා කරන කණ්ඩායමක් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ක්‍රියාත්මක කළ බව පැහැදිලියි. ඒ වගේම පාස්කු ඉරිදා මෙවැනි දෙයක් ක්‍රිස්තියානි පල්ලි තුළ ක්‍රියාත්ම කිරීම තුළිනුත් මේ රට තුළ යළි වතාවක් ජාතිවාදය, ආගම්වාදය ඇති කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන කොටස් බව පැහැදිලියි. අපි ජනතාවෙන් ඉල්ලන්නෙ ආවේගශීලි නොවී සංසුන්ව කටයුතු කරන්න කියල. මාධ්‍යවලින් මම ඉල්ලන්නෙ වගකීමෙන් කටයුතු කරන්න කියල.

ඇතැම් මාධ්‍යවල පහත් හැසිරීම !

මේ වගේ ප්‍රහාරවලින් අහිමි වන ජීවිත ලෝකයට පෙන්නල ඒ අයට අගෞරව නොකරන සම්පදායක් තියෙනවා. පැරීසියෙ වෙන්න පුළුවන් අමෙරිකාවෙ එංගලන්තෙ වෙන්න පුළුවන් ඒ කිසිම රටකට ප්‍රහාරයක් එල්ල වුණ වෙලාවට බීබීසි එකෙන්, සීඑන්එන් එකෙන් ඒ මළ මිනී දිහා බලල සංතෝෂ වෙන්නෙ නෑ. එහෙම සතුටු වෙන්න මළ මිනී පෙන්නන්නෙත් නෑ.

මම මේ රටේ ජනමාධ්‍යයෙන් ඉල්ලනව මේ ශිෂ්ඨ සම්පන්න සම්ප්‍රදාය අනුගමන කරමින් මේ බෝම්බ ප්‍රහාරවලින් මියගිය අහිංසකයන්ගෙන් දේශපාලන වාසි ගැනීමේ ප්‍රයත්නය වහාම නවත්තන්න කියල මම ඉල්ලනවා. මේ මළ මිනී ලෝකයට පෙන්වන මාධ්‍ය කලාව වහාම නවත්වන්න ඕනෙ.

ලේ සුවදින් ජීවත් වන දේශපාලඥයන් පිරිසක් !

මේවායින් සතුටක් තෘප්තියක් ලබන දේශපාලඥයන් පිරිසක් ඉන්න පුළුවන්. මට ආරංචියි අපේ විපක්ෂ නායකතුමා දැන් මළ මිනී බල බල රූපවාහිනී කැමරා එක්ක යනව කියල. රාජපක්ෂලට කොහොමත් පණ එන්නෙ ලේ සුවඳ ආවමයි කියල අපි දන්නවා. මොකද එදා තිබුණෙ ලේ සුවඳන් ජීවත් වුණ රජයක්. මේ වෙලාවේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැම කෙනෙක්ම සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් හැම ආගමක් ම අදහන අයගෙන් බහුතරයක් මේ ඩ්‍රැකියුලා, වෑන්පයර් මාධ්‍ය කලාවට විරුද්ධයි.

අපි හැම කෙනෙක්ම අත්වැල් බැඳගෙන, අපි දිනාගත් නිදහස ආරක්ෂ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පක්ෂ බේද පසෙකලා එකතු වෙමුයි කියල මම ආරාධනා කරනවා.

මේ බියගුලු ම්ලේච්ඡ ප්‍රහාරයන්ගෙන් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ට, තුවාල ලැබූවන්ට සහ පීඩාවට පත් වූවන්ට මම මාගේ කණගාටුව පළ කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න