පියල් ගැන සැකයි : ඇමැති මංගල ClD යයි !

පියල් ගැන සැකයි : ඇමැති මංගල ClD යයි !

හිතාමතා මේ රටේ ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇති කිරීමේ සහ ජාතිවාදී හෝ ආගම්වාදී මතයක් පැතිරවීමේ අපේක්ෂා සහගතව, ජනතාව නොමග යැවීමේ අරමුණින් යුතුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත කටයුතු කර ඇති බව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර කටයුතු කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත මෙම පැමිණිල්ල අද (27) සිදුකර ඇති අතර ඊයේ (26) සයින්දමරදු ප්‍රදේශයේ යුද හමුදාවේ 11ක් මියගිය බවට සාවද්‍ය ලෙස සිදුකරන ලද මෙම ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය මෙන්ම සාහසික ප්‍රකාශයක් බව පැහැදිලි බවත් එහි සදහන් කර ඇත.

එසේම අවස්ථාවාදී පටු දේශපාලන අරමුණකින්, සමාජ ව්‍යසනකාරී හෝ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීමේ අරමුණ ඇතිව කරන ලද ප්‍රකාශයක් ද විය හැකි බව සදහන් කරන අමාත්‍යවරයා පියල් නිශාන්ත මන්ත්‍රිවරයා විසින් සිදුකරන ලද උක්ත ප්‍රකාශය හා ඊට පාදක වූ රහස්‍ය අරමුණක් වූවේ නම්, ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකොට වහාම අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් සදහන් කර තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ සම්පූර්ණ පැමිණිල්ල අප වෙත ලැබී ඇති අතර එය පහත දැක්වෙයි.

 

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

කොළඹ.

 පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතාගේ සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධවයි

 එක්සත් ජනතා නිදහස් සන්ධාන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා (පොදුජන පෙරමුණ නියෝජනය කරමින්) ස්වර්ණවාහිනී රූපවාහිනීයේ ඊයේ (26) රාත්‍රියේ පැවැති “රතු ඉර“ දේශපාලන වැඩසටහනකට එක්වෙමින්, "සමස්ත රටම භීතියට පත්වන සිදුවීමක් සිදුව තිබෙනවා. ඒ කල්මුණේ සයින්දමරදු කියන ප්‍රදේශයේ අපේ මේ ආදරණීය රට බේරාගත්ත, ජීවිත කැප කරලා, ලේ විලක්, අමු සොහොනක් වෙලා තිබුණු රට බේරාගත් රණවිරුවන් 11ක් මියගිහින් තියනවා." යැයි පැවසීය.

අප්‍රේල් 26 දින රාත්‍රියේ ආරක්ෂක අංශ සහ ත්‍රස්ත කණ්ඩායමක් අතර කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි හුවාමරුව අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයන් 11ක් මියගොස් ඇති බවට එසේ ප්‍රකාශ කරමින් එම ප්‍රකාශයේ වගකීම තමන් විසින් භාරගන්නා බව ද පවසා සිටියේය.

කෙසේ නමුත් මා දැනුම්වත් වී ඇති ආකාරයට එම සිදුවීමේ දී කිසිදු ආරක්ෂක නිලධාරියකු මරණයට පත්වීමක් හෝ අවම වශයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයකුට තුවාලයක්වත් සිදුව නැත.

ඒ අනුව එකී මන්ත්‍රීවරයා විසින් හිතාමතා මේ රටේ ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇති කිරීමේ සහ ජාතිවාදී හෝ ආගම්වාදී මතයක් පැතිරවීමේ අපේක්ෂා සහගතව, ජනතාව නොමග යැවීමේ අරමුණින් යුතුව සිදුකරන ලද මෙම ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය මෙන්ම සාහසික ප්‍රකාශයක් බව පැහැදිලිය. එසේම අවස්ථාවාදී පටු දේශපාලන අරමුණකින්, සමාජ ව්‍යසනකාරී හෝ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීමේ අරමුණ ඇතිව කරන ලද ප්‍රකාශයක් ද විය හැකිය.

එම නිසා මේ මොහොතේ අප රටේ පවතින සමාජ ආරක්ෂක තත්ත්වය හමුවේ මෙවැනි සාහසික ප්‍රකාශ ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් සමාජගත කිරීම බරපතළ ගණයේ අපරාධයක් බව මාගේ හැඟීමයි. එබැවින් පියල් නිශාන්ත මන්ත්‍රිවරයා විසින් සිදුකරන ලද උක්ත ප්‍රකාශය හා ඊට පාදක වූ රහස්‍ය අරමුණක් වූවේ නම්, ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකොට වහාම අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

ස්තූතියි.

 මංගල සමරවීර 

මුදල් අමාත්‍ය

අවධානයට

පියල් නිශාන්ත මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය සහිත වීඩියෝ දර්ශන ඇතුළත් අන්තර්ජාල ලිපිනයක් ද මේ සමග අමුණා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න