පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ දිවයිනේ පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් සැපයියයුතු බැවින්, ඒ සදහා සහායක් වශයෙන් තමාගේ ආරක්ෂාව තමා විසින් සපයා ගනිමින්, තම ඇමති ආරක්ෂක නිලධාරීන්ද ඒ සදහා අනුයුක්ත කිරීමට තමා අදහස් කර ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.
ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවන් හමුවේ දින ණනනාවක් වසා තැබූ පාසල්, මේ මස 06 සදුදා නැවතත් ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර ඇති බව පවසන අමාත්‍යවරයා පාසල් දරුවන් ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වීමට ඉඩ ඇතැයිද පවසයි.
ඒ නිසා පාසල් නැවත ආරම්භ කිරීමට ප්‍රථම , පාසල් සහ අදාළ භූමිය විශේෂ ආරක්ෂක සෝදිසියකට භාජනය කළයුතු අතර පාසල් ආරම්භ කිරීමෙන් පසුවද දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙලක් අනුගමනය කළයුතුයැයිද අමාත්‍යවරයා අවධාරණය කරයි.
රටේ පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ සමස්ථ දිවයිනේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් දිවා රෑ නොබලා රාජකාරියේ යෙදී සිටින අතර දීපව්‍යාප්ත පාසල් ජාලයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂාව සැපයීමේදී ඊට සහායක් වශයෙන් තම ආරක්ෂාව සදහා රජය විසින් ලබාදී ඇති ඇමති ආරක්ෂක අංශ නිලධාරීන්ද ලබාදීමට තමා කටයුතු කරන බව අමාත්‍ය කරුණානායක වැඩිදුරටත් අවධාරණය කරයි.

