Language Switcher

V2025

සමහරුන් උත්සාහ කරන්නේ සිංහල මුස්ලීම් යුද්ධයක් ඇති කරන්න : ඇමති මංගල අනතුරු හගවයි !

අන්තවාදී ත්‍රස්තවාදය දඩමීමාකරගෙන මේ රට තුළ දේපාලන අවුල් ජාලාවක් ඇතිකරන්නට යම් යම් කොටස් කටයුතු කරන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර අනතුරු හගවයි.

සමහර පිරිස් සිංහල මුස්ලීම් යුද්ධයක් ඇති කිරීමට උත්සාහ දරණ බවත් අමාත්‍යවරයා පවසයි.

පසුගිය 11 වනදා මාතර එක්සත් ජාතික පෙරමුණ පළාත් පාලන නියෝජිත හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.

එසේම "ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් විතරක් නෙවෙයි. ලංකාව කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ රටක්. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරයක් සිංහල බෞද්ධයන්. ඒ වගේම ක්‍රිස්තියානි, කතෝලික, හින්දු, ඉස්ලාම් සහ වෙනත් ආගම්වල අයත් ඒ රටේ ඉන්නවා. ඒ හැම කෙනෙකුටම සිංහල බෞද්ධ අපිට තියන අයිතිවාසිකම් හැම එකක්ම තියනවා. අපි බෞද්ධ වුණ පළියට අපේ මතය කාගෙවත් පිට උඩ පටවන්න බැහැ. අන්න ඒක මතක තියාගන්න ඕන. "බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා පැවැත්වූ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි .

නොසිතූ මොහොතේ සිදුවූ ඛේදවාචකය !

පසුගිය පාස්කු ඉරිදා අපි නොසිතූ මොහොතක නොසිතූ විදිහකට ඒ දැවැන්ත ඛේදවාචකය ඇති වුණේ. ඒ තුළින් ජීවිත රාශියක් වෙනස් වුනා විතරක් නෙවෙයි ඇත්තවශයෙන්ම රට ඇවිත් තිබුණ ඒ ඉදිරි ගමනටත් ඒක විශාල ප්‍රහාරයක් බවට පරිවර්තනය වුනා. මම ඒ සම්බන්ධයෙන් කතා කරන්නට බලාපොරොත්තු නොවුණත් මේ වෙනකොට ඉතාමත්ම කෙටි කාලයක් අතුළතදී විශේෂයෙන්ම අපගේ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ වගේම රජයේ මැදිහත්වීම තුළින් ඒ ඇතිවූ භයානක තත්වය මේ වෙනකොට යථාතත්වයට පත්කරන්නට පුළුවන් වී ඇතැයි කියන එක ආරක්ෂක අංශ රජයක් හැටියට අපිටත් දන්වලා තියෙනවා. හමුදාපති ඇතුලු අනිකුත් අයත් මෙය ප්‍රකාශ කරලා තියෙනවා.

මෙතනදී අපි දන්නවා මේ තත්වය ඇති වීමට බුද්ධි අංශයෙත් ඇත්තෙන්ම කියනවානම් අපේ රජය තුළත් යම් යම් අඩු පාඩු තිබුනා, තියනවා. නමුත් ඒ සියල්ල මේ වෙනකොට අපි පාලනය කරගෙන ඒ අන්තවාදී ත්‍රස්තවාදයන් පාලනය කරගන්න හැකිවෙලා තියෙවනවා. රට යථාතත්වයට යලිවතාවක් ඉතාමත්ම කෙටි කාලයක් තුළදී පත්කරන්නට පුළුවන් වෙලා තියෙනවා.

මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් !

එක පැත්තකින් මෙවැනි කෙටි කාලයක් තුළදී මේ භයානක ත්‍රස්ථවාදයට අපිට මුහුණ දෙන්නට අපිට ශක්තියක් ලැබුණේ අපිට එඩිතර නිර්භීත ත්‍රිවිධ හමුදාවක් පොලිසියක් තියෙනවා විතරක් නිසා නෙවෙයි ඇත්ත වශයෙන්ම අපි ලෝකයෙන් තනිවුණෙත් නැහැ.

මොකද එදා වගේ නෙවෙයි අද අපි මුහුණ දෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්ථවාදයකට. එදා අපි මුහුණ දුන්නේ මේ රටේම කොටසක් වෙනම රාජ්‍යයක් ඉල්ලන අන්තවාදි අතලොස්සකට. අද අපි මුහුණ දෙන්නේ එවැනි ඉල්ලීම් තියෙන අන්තවාදයකට නෙවෙයි. මුළු ලෝකයටම වරුද්ධව යුධ ප්‍රකාශ කරපු එක්තරා අන්තවාදී මතවාදයකට. අන්න ඒ නිසා තමයි ඇත්තවශයෙන්ම මේ මහා ප්‍රහාරය එල්ල වූ විගස මේ ප්‍රහාරවලින් බැට කාපු මේ ප්‍රහාරවල ඉලක්ක බවට පත් වූ හැම රටක්ම ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් ලංකාව වෙනුවෙන් පෙනී හිටියා.

ලෝකයේ සෑම රටකටම ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ අනතුර තිබෙනවා !

මම දන්නවා මේ ප්‍රහාරයෙන් පසුව පැය ගානක් යන්න ඉස්සෙල්ල ප්‍රධානතම දියුණු හැම රටකම වගේ බුද්ධි අංශ මේ ලංකාවට ඇවිල්ලා මේ වෙනකොටත් ඒ හා සමාන අත්දැකීම් සහ පිළිගැනීමක් තියෙන අපේ හමුදාවත් එක්ක අපේ බුද්ධි අංශත් එක්ක එකට වැඩ කරනවා. අපි මේ ත්‍රස්තවාදයෙන් මිදුනයි කිවුවට ලංකාවේ මේ අද තියන බෝම්බය හෙට ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ එහෙම නැත්නම් එංගලන්තයේ ලන්ඩන් නුවර, ප්‍රංශයේ පැරිස් නුවර තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අද මේ ලෝකයේ කිසිම රටක් මේ ත්‍රස්ථවාදයෙන් නිදහස් වෙලා නැහැ.

සමහරු කියනවා අපිට රුසියාවේ පූටින් වගේ රාජ්‍ය නායකයෙක් හිටියනම් මේවා වෙන්නේ නැහැයි කියලා. අද රුසියාවත් මේ අපිට පහරදුන්න අයගේ ඉලක්කයන් බවට පත්වෙලා තියෙනවා. ඒ රටවල්වලත් අපේ වගේ අපිටත් වඩා දියුණු බුද්ධි අංශ තියෙනවා. ඇමරිකා ඒක්සත් ජනපදය කියන්නේ ලෝකයේ ප්‍රධානතම බලවත් රට. නමුත් 2001 සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා අල්කයිඩා කණ්ඩායම නිව්යෝක් නගරයේ තියෙන ප්‍රධානතම තට්ටු එකසිය ගානක් උස බිල්ඩිමට අහස් යානයක් ඇවිල්ලා හප්පලා තුන්දාහක් මරනකන් ඒ ප්‍රධානතම රටේ බුද්ධි අංශ දැනගෙන හිටියේ නැහැ. ලංකාව වගේම ඒ සිද්ධියෙන් පස්සේ ඒ බුද්ධි අංශ ගහගත්තා ආණ්ඩුවට දොස් කිවුවා ඇයි උඹලාට මේක නවත්වන්න බැරිවුනේ කියලා.

නමුත් වර්ථමානයේ ත්‍රස්ථවාදයේ ස්වභාවය එයයි. කොයි තරම් හොඳ බුද්ධි අංශ තිබුණත් කොයිතරම් හොඳ හමුදාවක් තිබුණත් අපි හැම වෙලේම අවධානයෙන් ඉන්න ඕනෙ. මේක බුද්ධි අංශයෙන් රජයෙන් හමුදාවෙන් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජනතාවත් හැමවෙලේම මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න ඕනෙ.

කෙසේ වෙතත් දැන් මම කියපු විදිහටම පැහැදිලිවම රට විශේෂයෙන්ම මේ අන්තවාදී ත්‍රස්ථවාදයෙන් අපි බේරගෙන අපි ආපු ඒ සාර්ථක ගමන රට දියුණු කිරීමේ ගමන ඉන්දියන් සාගරයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන ආපු ඒ ගමන යළි වතාවක් අපි යනවා.

අන්තවාදය දඩමීමා කරගෙන දේශපාලන අවුලක් සෑදීමේ උත්සාහයක් !

නමුත් මම නම් ඒ අභියෝගයට වඩා වැඩි අවධානමක් දකිනවා. ඒ අන්තවාදී ත්‍රස්තවාදය අපි පාලනය කරලා තියෙන්නේ ඒකට බය වෙන්න එපා. හැබැයි දැන් මේ අන්තවාදී ත්‍රස්තවාදය අතකොලුවක් කරගෙන මේ අන්තවාදී ත්‍රස්තවාදය දඩමීමාකරගෙන මේ රට තුළ දේපාලන අවුල් ජාලාවක් ඇතිකරන්නට යම් යම් කොටස් කටයුතු කරනවා.

මේක බොරුවක් නෙවෙයි මේක ඇත්ත කතාවක් මම දන්නවා සමහරුන්ගේ නම් පවා. එක්තරා පක්ෂයක තවමත් පිපුන නැති පක්ෂයක කියමු, සමහර සාමාජිකයන් අප්‍රෙල් 21 වෙනිදා මේ බෝම්බ ප්‍රහාරය ගැන රූපවාහිනියෙන් පෙන්නපු වෙලාවේ කිරිබත් කෑවා. මේක ඇත්ත. සමහරු කිවුවා ආ දැන් ආණ්ඩුව අපිට ගන්න පුළුවන්. මළමිනී උඩින් ආණ්ඩු හදන්නත් සමහරු මේකෙන් පස්සේ බලාගෙන ඉන්නව. මොකද දැන් මේ අය බලන්නේ මේ ප්‍රශ්නය පිට උඩ දාලා මේ රට තුළ යලිවතාවක් කෝලාහළ ඇති කරන්න.

සිංහල මුස්ලීම් යුද්ධයක් ඇති කරන්න හදන්නේ !

අපි දැක්ක ඒ කාලේ සිංහල දෙමළ කෝලාහල තිබුනා. ඒ කෝලාහල තමයි අන්තිමට මහා ත්‍රස්තවාදයක් බවට පත් වෙලා අවුරුදු 30ක් තිස්සේ මේ රටේ ආර්ථිකය විනාස කරලා ජීවිත දහස් ගණනක් විනාශ කළේ. දැන් සමහරු හදනවා සිංහල මුස්ලිම් යුද්ධයක් ඇති කරන්න.

මේ රටේ ඉන්න මුස්ලිම් ජාතීන්ගෙන් සියයට අනූවක්ම මම පැහැදිළිවම කියනවා මේ ත්‍රස්තවාදයට විරුද්ධයි. මේ සිද්ධ වෙච්ච සිද්ධියට අපිට වඩා විරුද්ධයි. මොකද ඒ අය කියන්නේ මේ වාගේ අන්තවාදින් කීපදෙනෙක් නිසා අපිටත් වඩා ජීවත්වෙන්න අමාරු තත්වයක් ඇති කරලා තියෙනවා කියලා.

අන්න ඒ නිසා තමයි අපිට මේ අන්තවාදී ප්‍රශ්නය මේ තරම් ඉක්මනට විසඳගන්නට පුළුවන් වෙලා තියෙන්නේ. මොකද අන්තවාදීන් ගැන වැඩියෙන්ම තොරතුරු දුන්නේ ඔත්තු දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි, මුස්ලිම් ජනතාවමයි. මුස්ලිම් ජනතාවමයි ඇවිල්ල සීඅයිඩී එකට එහෙම නැත්නම් අගමැතිතුමාට, ජනාධිපත්තුමාට නැත්නම් අපිට මේ විස්තර කිවුවේ, මෙන්න මේ මේ අය ගැන අපිට සැකයක් තියනවා කියලා.

නමුත් දැන් මේ දවස්වල ෆේස්බුක් එක වගේ දේවල් බැලුවොත් මේ සමහරුන්ගේ උත්සාහයක් තියෙනවා, ඒවා දාන අයගේ පසුබිම බැලුවොත් බොහෝ දෙනෙක් අර පිපෙන්නේ නැති පක්ෂ සාමාජිකයෝ කියලා සොයාගන්න පුළුවන්. දැන් ඒ ගොල්ලොත් හදනවා මේ මුස්ලිම් හැම මනුස්සයෙක්ම අන්තවාදියෙක් හැටියට පෙන්නන්න. හැම මුස්ලිම් කාන්තාවක්ම ත්‍රස්තවාදියෙක් හැටියට පෙන්නන්න.

සමහර මාධ්‍යයත් හදනවා මෙන්න මේ මතයට අත පොවන්න. ඇත්ත වශයෙන්ම අපි දන්නවා මේ රටේ මුස්ලිම් ජනතාව මේ වෙනකොට අවුරුදු 1100 කට වඩා ලංකාවේ ජීවත්වන මිනිස්සු. මම දන්න ඉතිහාසය අනුව 11 වන ශතවර්ෂයේ විතර තමයි මේ අය ලංකාවට ඇවිල්ලා, ලංකාවේ ගැහැණු විවාහ කරගෙන ලංකාවේ පදිංචිවෙලා ලංකාවේ අපිත් එක්ක ජීවත් වුණේ.

මහනුවර පැත්තේ සිංහල නම් අරගෙන දළදා මාලිගාවේ සේවකයන් බවට පත්වුණ විදිය ගැන අදත් ඉතිහාස පොත්වල තියෙනවා. මේ රටේ ව්‍යාපාර පටන් ගත්තා මොකද ඒ අය වෙළෙඳ පරම්පරාවකින් ඈත කාලයේ ඉඳන් එන මිනිස්සු.

දැන් ඒකටත් අපේ සමහරු කියනවා මුස්ලිම් කඩවලින් බඩු ගන්න එපාය කියලා. මොන කඩේකින්වත් බඩු ගන්න එපා කියන්න ඕන නැහැනේ. තමන්ගේ බඩු හොඳ නම්, තමන්ගේ භාණ්ඩය තරඟකාරි නම් මිළ අඩු නම් අනිත් කඩෙන් ගන්න එපා කියන්න ඕන නැහැ. දැන් මේ නිකම්ම ගෙවල්වලට වෙලා පොහොසත් වෙන්න බලන සමහරු එහෙම කිය කිය සිංහල ජනතාව ඇතුලේ තියන වෛරය වැඩි කරන්න හදනවා මුස්ලිම් ජනතාවට එරෙහිව.

සුදු නෙළුම් ව්‍යාපාරයට එරෙහිව පොල් ගහපු මිනිස්සු !

අන්න ඒ නිසා තමයි මම විශේෂයෙන් මේ පණිවිඩය මාතරින් පටන් ගත්තේ. මම දේශපාලනයට ඇවිල්ලා මුලින්ම අන්තවාදයට විරුද්ධව කරපු සටන මම පටන් ගත්තෙත් මේ මාතරෙන්. මට මතකයි සුදු නෙළුම් ව්‍යාපාරය අපි එදා ආරම්භ කරා. සුදු නෙළුම් ව්‍යාපාරය ආරම්භ කළෙත් සාමාන්‍ය සිංහල ජනතාවට කියන්න අපේ යුද්ධය තියෙන්නේ දෙමළ ජනතාවත් එක්ක නෙවෙයි දෙමළ ත්‍රස්තවාදීන් එක්කයි කියන එක.

අපි ගමින් ගමට ගියා සුදු නෙළුම අරගෙන. මට තාම මතකයි ඒක පටන් ගත්තම මට විරුද්ධව සිංහල අන්තවාදීන් මේ මාතර බෝධිය ළඟ පොල් ගැහුවා. පොල් ගහලා වස්කවියකුත් කිවුවා. ඒක කියපු මනුස්සයා සතියකින් මළා. මම අවුරුදු 30ක් තිස්සේ තාමත් දේශපාලනේ කරනවා.

මම මේ කතා කරන්නේ අවුරුදු 25 කට ඉස්සෙල්ලා වුන දෙයක්. අපි හැමදාමත් එදත් ඒ දේශපාලනයට සම්බන්ධ වෙලා අන්තවාදයට විරුද්ධව කටයුතු කරා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කළා. මම දන්නේ නැහැ තමුන්නාන්සේලාගේ කී දෙනෙක්ට මතක ඇති ද කියලා.

LTTE ය තහනම් කෙරෙව්වේ කවුද

සහහරුන්ට අමතක වෙලා තියෙන නිසා මම මතක් කරනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා හැටියට මම එදා රටක් රටක් ගානේ ගිහිල්ලා කරපු ඉල්ලීම් අනුව 2006 ජුනි මාසේ 29 වෙනිදා යුරෝපීය සංගමය ඒල්ටීටීඊ ය තහනම් කරා. ඒ තහනම අදත් තියෙනවා.

කොහොම හරි අපි යුද්ධය දිනලා 2015 දී ඒකාධිපති රාජපක්ෂ චෞර පාලනය පරාජය කරලා අලුත් ගමනක් ආරම්භ කරා. එතනදිත් අපි රූපවාහිනියට එහෙම නැත්නම් පුවත්පත්වලට කිවුවේ නැති වුනාට විශේෂයෙන්ම මේ අන්තවාදී ඉස්ලාම් ප්‍රවණතාවයටත් මම විරුද්ධ වුණා. මට තාම මතකයි ඔය බුර්කාව ගැන මගේ මුස්ලිම් මිත්‍රයන් එක්ක එකතුවෙලා මම ඒ ගොල්ලන්ට කිවුවා මේක ආණ්ඩුවක් හැටියට තහනම් කරන්න අපිට අයිතියක් නැහැ.

මම හිතනවා අපි බලහත්කාරයෙන් කරනවාට වඩා ඒක ඒ අය කැමැත්තෙන්ම අයින් කර ගන්න ඕනෙයි කියලා. ඒ කට්ටිය දන්නවා අපි සාකච්ඡා කරා කොහොමද මේ බුර්කාව අයින් කරගන්නේ කියලා මොකද එක පැත්තකින් මම පිළිගන්නවා ඕනෑම කාන්තාවකට තමන්ට ඕන විදිහට අඳින්න අයිතියක් තියෙන්න ඕනයි කියලා. නමුත් අනිත් පැත්තෙන් ඇත්ත වශයෙන්ම කාන්තාවක් සම්පූර්ණයෙන්ම තමන්ගේ ලස්සන මුහුණයි ලස්සන ඇඟයි වහගෙන යන එකටත් මගේ ප්‍රතිපත්තිය අනුව නම් මම කැමතිත් නැහැ.

එක රටකට එක නීතියක් ප්‍රමාණවත් !

මේ ප්‍රශ්නය ඇති වුනාමත් මම කිවුවේ ආණ්ඩුව මේක තහනම් කරන්න යන්න එපා අපි මුස්ලිම් ජනතාවට කියලාම අපි ඒ ඉල්ලීම අරගෙන ක්‍රියාත්මක කරමුයි කියලා. ඒ වගේම ෂරියා නීතිය ගැන මමත් හිතනවා ඇත්ත වශයෙන්ම එක රටකට තියෙන්න ඕන එක නීතියයි.

අනික මටත් පුළුවන් ඕනනම් සමහර අපේ සගයන් වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න, කියන්න, මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් ඒ නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බැහැ කියලා.

නැහැ, මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් විතරක් නෙවෙයි. ලංකාව කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ රටක්. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරයක් සිංහල බෞද්ධයන්. ඒ වගේම ක්‍රිස්තියානි, කතෝලික, හින්දු, ඉස්ලාම් සහ වෙනත් ආගම්වල අයත් ඒ රටේ ඉන්නවා.

ඒ හැම කෙනෙකුටම සිංහල බෞද්ධ අපිට තියන අයිතිවාසිකම් හැම එකක්ම තියනවා. අපි බෞද්ධ වුණ පළියට අපේ මතය කාගෙවත් පිට උඩ පටවන්න බැහැ. අන්න ඒක මතක තියාගන්න ඕන.

ලංකාවේ දෙවන ගණයේ පුරවැසියන් නෑ !

ඒ වගේම මේ රටේ කවුරුහරි එංගලන්තයට ගියොත්, ඉතාලියට ගියොත් ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදි රටවල්වලට ගිහිල්ලා අමාරුවෙන් හරි පුරවැසියෙක් වුණොත් කවුරුවත් දෙවෙනි පංතියේ පුරවැසියෝ කියලා වෙන්කරන්නෙ නැහැ. අද පුරවැසිකම ගත්ත පුද්ගලයටත් අවුරුදු දාහක් ඒ රටේ ජීවත්වෙලා හිටපු පුරවැසියටත් සමාන අයිතිවාසකම් තියනවා. ඔන්න ඕකයි පුරවැසියෙක් කියන්නේ. අන්න එහෙම නම් ශ්‍රී ලංකාව කියන්නේ සියලු ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ රටක්.

ඒ විතරක් නෙවෙයි මේ විදිහට අපි මුස්ලිම්වරුන්ගේ සියලුම දේවල් වර්ජනය කරන්න ගියොත් එහෙනම් ඔය තියන වාහන බස් මෝටර් සයිකල් ඔක්කොම ගෙදර තියලා බරකරත්තවලින් තමයි යන්න වෙන්නෙ. මොකද අපේ වාහන ඔක්කොම දුවන්නේ මැදපෙරදිග ඉන්ධනවලින්. මුස්ලිම්වරුන්ගේ ඉන්ධනවලින් අපි දුවන්නේ. එහෙනම් ඉතින් අපි එහෙමත් ජීවත්වෙන්න ඔනේ.

මෙන්න මේ විදිහට අද බොහොම පුහු තර්ක දමාගෙන මේ රට තුළ විශාල අර්බුධයක් ඇති කරනවා. ත්‍රස්තවාදීන්ගේ අර්බුදය අපි බාරකරමු අපේ පොලිසියට ත්‍රිවිධ හමුදාවට, බුද්ධි අංශවලට. නමුත් අනිත් පැත්තෙන් අර කියපු විදිහට මේ රට තුළ ජාතිවාදී ගැනිදැල් දල්වන්න ඉන්නවා නම් අන්න ඒක නවනත්තන්න පුළුවන් වන්නේ වෙන කාටවත් නෙවෙයි අපිටමයි. ඒක අපේ වගකීමක්.

රට පුරා සාම කමිටු හදන්න ඕන !

ඒ නිසා අපි රට පුරා සාම කමිටු පිහිටුවන්න සාකච්ඡා කරමින් කටයුතු කරමින් ඉන්නවා. මේ ආරම්භක අවස්ථාව. අද ඉඳන් විශේෂයෙන්ම මාතර සෑම ආසනයකම විශේෂයෙන්ම වෙනත් ජනවාර්ගික කොටස්, වෙනත් ආගමික කොටස් ඉන්න කොට්ඨාශවල අපි සාම කමිටු ආරම්භ කරන්න ඕන.

සාම කමිටුවක් පිහිටුවලා යම්කිසි විදිහකට හෝ අපිට ආරංචියක් ලැබුනොත් කවුරුහරි ඒ ප්‍රදේශයේ තියන මුස්ලිම් පල්ලියකට, එහෙමත් නැත්නම් ක්‍රිස්තියානි පල්ලියකට, එහෙමත් නැත්නම් අපේ බෞද්ධ පන්සලකට පහර දෙන්න ඉන්නවයි කියලා, කලබල ඇති කරන්න ඉන්නවයි කියලා, ඒ සාම කමිටුව එතනට රැස්වෙලා පොලිසියට තමන්ගේ සහයෝගය දීලා එවැනි තත්වයක් ඇතිවෙන එක අපි නවත්තන්න ඕනේ.

හැම වෙලේම අවධානයෙන් ඉන්න ඕනේ. ප්‍රශ්නයක් වෙනකන් වෙන්නේ නැහැයි කියලා ඉන්න එපා.

තව ඒක වචනයක් කියන්න ඔනේ මේ කඩු ගැන. ඇත්ත මේවා භයානක ආයුධයක්. නමුත් මේ කඩු සෙල්ලම ටිකක් දුර දිග ගිහිල්ලා වැඩී. මොකද මේවා හැම වෙලේම අහුවෙනවාය කියන්නේ, මුස්ලිම් ගෙවල්වල. ඒ කියන විදිහට රූපවාහිනියෙන් පෙන්නන්නේ හරියට මේ වෙනකොට සාමාන්‍ය මුස්ලිම් ජාතීන් අතර කඩු ඒකතුකිරීමේ මහා තරඟයක් තියනවා මොකද මේ කඩුවලින් මහා ජාතිය අපහසුතාවයට පත් කරන්න යන්නේ කියන මතය ඇති වෙන විදිහට.

ඕන ගෙදරක කඩුවක් තිබෙන්න පුළුවන් !

අනිත් එක මම දන්න හැටියට නම් සාමාන්‍ය සිංහල ගෙවල්වලත් කඩුවක් තියෙනවා. ඒ තියෙන්නේ මොහොකටවත් නෙවෙයි, සොරු සතුරන්ගෙන් ආරක්ෂාවෙන්න. දැන් ඇමරිකාව වගේ අපේ ගෙවල්වල ඉන්න අයට තුවක්කු තියාගන්න බෑ. හදිස්සියකට කියලා මෙට්ටෙ යට හෝ කොහේ හරි ගෙදර කොනක හංගලා තියෙනවා. දැන් මේ විදිහට සිංහල ගෙවල්වලත් හොයන්න පටන් ගත්තොත් මම හිතන්නේ ලංකාව තුළ තියෙන කඩු ගාන හිතාගන්නත් බැරිවෙයි.

ඒ වගේම මේ හැම එකක්ම මාධ්‍යයෙන් ලොකුවට පෙන්නනවා. සමහරක් වෙලාවට මුස්ලිම් කෙනෙක්ගේ ගෙදරටත් යනවා. මම හිතන්නේ මේක මේ අපේ ආසනෙත් වුනා. ඒක මම වරදක් කියන්නේ නැහැ සැකයක් තියනවානම් ප්‍රශ්න කරන්න ඕනේ.

 නමුත් ප්‍රශ්න කරන්න ගෙනියනකොට රූපවාහිනි පිරිලා. නමුත් ඊට පස්සේ පැයක් දෙකක් ප්‍රශ්න කරලා තේරෙනවා මේ මනුස්සයා අහිංසකයෙක් කියලා එතකොට ගෙදර යවනවා. නමුත් අවට ඉන්න මිනිස්සු දකින්‌නේ අර ගෙනිච්ච එක විතරයි. ඊට පස්සේ ඒ මනුස්සයාටවත් ඒ මනුස්සයාගේ දරුවන්ටවත් නෝනටවත් ගමේ ඉන්නවත් අමාරුයි. මොකද අන්න අරූ ත්‍රස්තවාදී සැකකාරයෙක් කියලා රූපවාහිනිය බලලා ලේබල් ගහනවා.

සමහර මාධ්‍ය දේශපාලන කුහකයන් වෙලා !

රූපවාහිනි මාධ්‍ය මම හිතුවේ නැහැ මේ තරම් දේශපාලන වශයෙන් කුහක වෙයි කියලා. මේවා මේ රටේ මහා ගිනිදැල් ජාලාවක් හදලා මේ අය හිතනවා ආණ්ඩු වෙනස් කරන්න පුළුවන් කියලා. මිත්‍රවරුනි මේ ආණ්ඩුව ඒහෙම ලේසියෙන් වෙනස් කරන්න බැහැ. මිනිස්සු දොස් කියනවා බනිනවා තමයි ඇත්ත. හැබැයි බය වෙන්න එපා දැන් අපි සූදානම් ඊළඟ ජනාධිපතිවරණයටත්.

“දැන් මේ ආණ්ඩුවත් හොඳටෝම ඇති“

ඇත්තෙන්ම කියනවානම් දැන් මේ ආණ්ඩුවත් හොඳටෝම ඇති. අපි අලුත් ආණ්ඩුවක් එක්ක ඉස්සරහට යන්න ඕන. අලුත් යූඒන්පී ආණ්ඩුවක් එක්ක ඉස්සරහට යන්න ඕන. එහෙන් අදින මෙහෙන් අදින ආණ්ඩුවක් නෙවෙයි. අලුත් මුහුණුවරක් සහිත අලුත් ආණ්ඩුවක් මේ රටට අවශ්‍යයි.

ඒ විතරක් නෙවෙයි කවදාවත් නැති විදිහට සංවර්ධන කටයුතු දැන් එනවා. දැන් ගම්පෙරලිය හරහා ලංකාවේ ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය ගමට ගලාගෙන යන්නේ මේ අපේ ආණ්ඩුව යටතෙයි කියන ඒක තමුන්නාන්සේලා හොඳටම දන්නවා.

විශේෂයෙන්ම මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නේ මේ වෙලාවේ අපේ රටේ සාමය ආරක්ෂා කරගෙන මීටත් වඩා වැඩ කරන්න පුළුවන් යුගයකට යන්නට සූදානම් වෙන්න ඕනේ.

මීටත් වඩා ඉදිරියට යන්න පුළුවන් අනාගතයක් අපේ දූ දරුවන්ට ඇති කරන්නට ඕනේ. අන්න ඒ සඳහා තමුන්නාන්සේලා අද ඉඳලාම සූදානම් වන්න කියලා ඉල්ලා සිටිමින් යළි වතාවක් තමුන්නාන්සේලාට මගේ ආදරනීය ස්තූතිය පිරි නමමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.