නීතිය කඩා වැඩ වරද්ද ගන්න එපා - අගමැති දන්වයි !

නීතිය කඩා වැඩ වරද්ද ගන්න එපා - අගමැති දන්වයි !

රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත  පවරා දී තිබෙන බවත්, නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ කියයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කරනුයේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.   

 එම විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.
 
‘‘ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු අපේ ආරක්‍ෂක හමුදා ඉතා සාර්ථක ලෙස සිදු කරමින් යනවා. ඊට සම්බන්ධ බොහෝ පාර්ශ්වයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපට පුලූවන් වුණා. තත්වය පාලනය කර ගැනීමටත් ආරක්‍ෂක අංශවලට හැකි වුණා. 
 
නමුත් රටේ සාමය බිඳ වැටී, ජාතිවාදී ප්‍රශ්න ඇති වුවහොත් රට අස්ථාවර වෙනවා. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා ආරක්‍ෂක අංශවලට තම විමර්ශන කටයුතු නිසියාකාරව සිදු කිරීමට බාධා පැමිණෙනවා. තැන තැන කලබල ඇති වීමේ ප්‍රතිඵලය වන්නේ වෙසක් උත්සවයත් කඩා කප්පල් කිරීමයි.
 
වයඹපළාතේ ස්ථාන කිහිපයක මේ කණ්ඩායම් කලබල ඇති කිරීමට උත්සාහ කළා. දේපොළ හානි කළා. දැන් පොලිසියත්, ආරක්‍ෂක හමුදාවත් ඒ තත්ත්වය මැඩපවත්වා තිබෙනවා. තවත් තැන තැන කලබල ඇති කිරීමට මේ කණ්ඩායම් උත්සාහ කරනවා. 
 
මේ අවස්ථාවේ කලබල ඇති කිරීමේ අරමුණ පොලිසිය සහ ආරක්‍ෂක හමුදා අපහසුතාවයට පත් කිරීමයි. ජන ජීවිතය කඩාකප්පල් කිරීමයි. රට අස්ථාවර කිරීමයි. 
 
මේ නිසා රට පුරා ඇදිරි නීතිය පනවන්නට රජය තීරණය කළා. රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත මම පවරා දී තියෙනවා. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගන්නවා.  
 
ඒ නිසා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහ ආරක්‍ෂක හමුදාවලට උපරිම සහාය ලබාදෙන මෙන් මම ඉල්ලා සිටිනවා. ‘‘

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න