ත්‍රස්තවාදීන්ට එරෙහි පරීක්ෂණ වල විශාල ප්‍රගතියක් - අගමැති

ත්‍රස්තවාදීන්ට එරෙහි පරීක්ෂණ වල විශාල ප්‍රගතියක් - අගමැති

පසුගිය 21 වැනිදා සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක් මේ වනවිට අත්කර ගෙන තිබෙන බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කෙටි කාලයකින් එවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවීම ගැන විදේශ ආයතන පවා මවිතයට පත්ව සිටින බව පවසයි.

ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ඝාතනය සිදුවී ප්‍රභාකරන්ට විරුද්ධව සාක්‍ෂි සොයාගැනීමට හැකි වූයේ වසර 20 කට පසුව බව සිහිපත් කළ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී මාසයක් ගතවීමටත් පෙර ඊට සම්බන්ධ ත්‍රස්තයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත්, රට තුළ අර්බුද නිර්මාණය කිරීමෙන් එම පරීක්‍ෂණ කටයුතුවලට බාධා ඇති විය හැකි බැවින් ඉවසීමෙන් ක්‍රියා කර ආරක්‍ෂක අංශ වෙත සහයෝගය ලබාදෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ඊයේ (15) අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන බලකායේ ක්‍රියාකාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන බලකායේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් සංවිධානය කර තිබූ එම සාකච්ඡාවට සන්නිවේදන බලකායේ අධ්‍යක්‍ෂ මණ්ඩල නියෝජිතයින්, පළාත් අධ්‍යක්‍ෂකවරු, දිස්ත්‍රික් ලේකම්වරු සහ දිස්ත්‍රික් නීති ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගීව සිටි අතර, එම බලකායේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනි.

එම සාකච්ඡාවේ දී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.

ත්‍රස්ත ප්‍රහාරය සිදුවී මාසයක් ගතවීමටත් පෙර ඒ සියලූ සැකකරුවන් හඳුනාගැනීමට අපට හැකි වුණා. මෙවැනි විශාල ප්‍රහාරයකින් පසුව ඉක්මනින් ප්‍රතිචාර දක්වා පරීක්‍ෂණ කටයුතු සාර්ථක කර ගත් අවස්ථා ලෝකයේ තිබෙන්නේත් ඉතා සීමිත ප්‍රමාණයක් බව විදෙස් ආයතන පවා අප සමග පවසනවා. ශ්‍රී ලංකාවේ සිදුවන පරීක්‍ෂණ කටයුතුවල සාර්ථකත්වය පිළිබඳව ඔවුන් මවිතයට පත් වන අතර, ප්‍රශංසාව ද පළ කර සිටිනවා. එම නිසා මෙම පරීක්‍ෂණ කටයුතු අවසන් කිරීමට ආරක්‍ෂක අංශවලට ඉඩ ලබාදිය යුතුයි.

ප්‍රභාකරන් විසින් යාපනයේදී ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ඝාතනය සිදු කළේ 1976 වසරේදීයි. නමුත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර නඩු පැවරීමට අවශ්‍ය තරම් සාක්‍ෂි තිබුණේ නැහැ. ප්‍රභාකරන්ට විරුද්ධව පළමුව සාක්‍ෂි ලැබුණේ මහා බැංකුවට බෝම්බ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදීයි. ඒ අනුව ප්‍රභාකරන්ට විරුද්ධව සාක්‍ෂි සොයාගැනීමට හැකි වූයේ ඔහුගේ පළමු අපරාධයෙන් වසර 20 කට පසුවයි.

නමුත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මාසයක් ගතවීමටත් පෙර එම ත්‍රස්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපට හැකිවී තිබෙනවා. අපේ රජය සහ ආරක්‍ෂක අංශ ඒ ආකාරයට සීඝ්‍රයෙන් වැඩකටයුතු සිදු කරමින් සිටිනවා.

ආරක්‍ෂක අංශවලට එම කටයුතු වේගයෙන් ඉදිරියට කර ගෙන යාමට අවශ්‍ය සහයෝගය අප ලබාදිය යුතුයි. රට තුළ වෙනත් ගැටළු හෝ අර්බුද නිර්මාණය කර පරීක්‍ෂණ කටයුතු සඳහා බාධා නොකරමු යැයි මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපට අවශ්‍ය ඉක්මනින් ත්‍රස්තවාදය සම්බන්ධ පරීක්‍ෂණ අවසන් කිරීමටයි. එම නිසා පරීක්‍ෂණ පිළිබඳ සාර්ථක ප්‍රතිඵල ආරක්‍ෂක අංශ විසින් ලබාදෙන තුරු ඉවසීමෙන් සිටින්න යැයි මම ජනතාවට පවසනවා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න