ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාදඩයන්ට ගැලවිල්ලක් නැති වෙයි !

ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාදඩයන්ට ගැලවිල්ලක් නැති වෙයි !

මැයි මස 12 සහ 13 වන දිනයන්හි ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මේ වන විට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීම මත සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් කලබල ඇති කළ අවස්ථාවාදී කණ්ඩායම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මැයි 13 වන දින ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇතිවූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල, වාරියපොළ, කුලියාපිටිය, නිකවැරටිය යන ප්‍රදේශවලත්, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රදේශයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පමණකි. මේ තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා සහ අමාත්‍ය මණ්ඩලය විසින් 13දා රාත්‍රියෙහි සාකච්ඡා කිරීමෙන් පසුව ආරක්ෂිත පියවරක් වශයෙන් දිවයින පුරා ඇඳිරි නීතිය ප්‍රකාශ කරන ලෙස රනිල් වික්‍රමසිංහ විසින් පොලිසියට උපදෙස් දෙන ලදී.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ කලහකාරී සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන් 14 දෙනෙකු අතරින් 9 දෙනෙකු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. සෙසු 5 දෙනා මැයි 14 වන දින අත්අඩංගුවට ගෙන තිබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

වයඹ පළාතේ ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ වූ සහ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 60 දෙනෙකුට අධික පිරිසක් මැයි මස 14 වන දින ප ව 04.00 වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අතරින් 9 දෙනෙකු හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 27 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම සැකකරුවන්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ චෝදනා ගොණු කරන ලෙසට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් පොලීසියට නියෝග කොට ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් කොළඹ සිට පිටත් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා කටයුතු කර ඇත.

කෙසේ වුවද, ආරක්ෂිත පියවරක් වශයෙන් අවශ්‍යතවය අනුව ඇඳිරි නීතිය පණවන ලෙස රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. ඒ අනුව මැයි 14 වන දින රාත්‍රියේද දිවයින පුරා ඇඳිරි නීතිය පණවන ලදී.

විපතට පත්වූ ජනතාව පිළිබඳ විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැයි 14 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංචාරය නිරතවූ අතර ඉන් අනතුරුව නැවතත් අමාත්‍ය මණ්ඩලය හමුවී ආරක්ෂක පියවර පිළිබඳව සාකච්ඡා කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න