Language Switcher

V2025

මංගල තීන්දුවක් ගනියි : රට ලේ විලක් කරන්න හදන හිරු - දෙරණ ට දැන්වීම් තහනම් !

රටේ ජාතිවාදය වපුරා මනුෂ්‍ය ලෙයින් පෝෂණය වීමට කටයුතු කරමින් සිටින මාධ්‍ය ජාල දෙකක් වන හිරු සහ දෙරණ මාධ්‍ය ජාල සඳහා මුදල් අමාත්‍යංශය යටතේ ඇති කිසිඳු ආයතනයක වෙළඳ දැන්වීම් ලබානොදෙන ලෙස අමාත්‍ය මංගල සමරවීර නියෝග කර තිබේ.

අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ (15) මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවක් අතර තුරදී අමාත්‍යවරයා මේ නියෝගය නිකුත්කර තිබේ.

ආණ්ඩුවම එකඟයි !

එහිදී තම අමාත්‍යංශය යටතේ තිබෙන ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ පසුගියදා පැවැත්වුණු කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ද රටේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධව ගැඹුරින් සාකච්ඡා වූ බවත් එහිදී තමන් දැක්වූ අදහස් වලට ජනාධිපති, අගමැති මෙන්ම කැබිනට් අමාත්‍යවරුන්ද එකඟතාව දැක්වූ බවයි.

මේ සම්බන්ධව අදාළ සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙසේද පැවසීය.

හිරු දෙරණ වෙන න්‍යාය පත්‍රයක් අනුව වැඩ !

රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ යුතු ලෙස ප්‍රශ්න ඇති කර තවත් වර්ධනය කිරීමට ගන්නා විශාල උත්සාහයක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍ය ආයතන දෙකක් තත්ත්වය අවුළුවන ආකාරයට පුවත් නිර්මාණය කරමින් විකාශය කරනවා. කෙළින්ම කියන්න පුළුවන් හිරු සහ දෙරණ මාධ්‍ය පැහැදිළි න්‍යාය පත්‍රයක් අනුවයි වැඩ කරන්නේ.

සිරස පැසසුම් !

සිරස එක්කත් ප්‍රශ්න තියනවා. ඔවුන් අගමැතිතුමාට, මට, අපේ ඇමතිවරුන්ට නිතර විවේචන සිදුකරනවා. නමුත් මේ ප්‍රශ්නය වෙලාවේ සිරස වගකීමක් ඇතිව කටයුතු කළ බව කිවයුතුයි.

නමුත් හිරු , දෙරණ කටයුතු කළේ ජාතිවාදය වපුරවන්න, සිංහල ජාතිය ප්‍රකෝප කරවන්න, ප්‍රවෘත්ති පවා විකෘති කරලයි විකාශය කළේ.

හිරු දෙරණ රට ගිනි තියන්න කටයුතු කළ ආකාරය !

විමර්ශන කටයුතු වලදී කඩු කිනිසි හමුවුණාම ඒ ගැන වාර්තා කළේ මුස්ලීම් ප්‍රජාව සියලු දෙනා ඉස්ලාම් අන්තවාදීන් බව හැගීයන ආකාරයට. නමුත් මුස්ලීම් ජනතාවගෙන් 99%ක් මේ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී කටයුතු වලට විරුද්ධයි. ඔවුන් කියන්නේ මේ ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ පුද්ගලයන්ට දිය හැකි උපරිම දඬුවම් දෙන ලෙසයි. අපි දන්නවා මේ ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න වැඩි වශයෙන් ඔත්තු දෙමින් සහය දුන්නේ සාමාන්‍ය මුස්ලීම් ජනතාව. නමුත් මේ මාධ්‍ය වාර්තා කළේ කඩු කිනිසි අරගෙන මුස්ලීම් ජනතාව බහුතරය වූ සිංහල ජනතාව නසන්න සූදානම් වන බවක් පෙන්නුම් කරන ආකාරයට.

ප්‍රවෘත්ති කියන්නේ කඩු විතරද ?

ජනාධිපතිතුමා පවා මම එක්ක මේ ගැන සාකච්ඡා කරනකොට කිව්වේ, පොළොන්නරුවේ මගේ ගෙදරත් ඇඳයට කඩුවක් තිබුණා ආරක්ෂාවට කියලා. ගෙදරක කඩුවක් තිබීම සාමාන්‍ය දෙයක්. මෙහෙ ඇමරිකාවේ වගේ ඕන කෙනෙකුට ආරක්ෂාවට ගිනි අවියක් තියාගන්න හැකි තත්ත්වයක් නෑ. ඒ නිසා දුප්පත් මනුස්සයෙක් වුණත් රෑ හරි සතුරෙක් ගෙට පැනලා කරදරයක් කළොත් කියලා ආරක්ෂාව සඳහා කඩුවක් වැනි දෙයක් තියාගන්නවා.

මුස්ලීම් ප්‍රජාව සහ වෙළඳාම ගැන වෛරයක් ඇති කිරීම !

නමුත් මේ ප්‍රශ්නයේදී කඩු තබා ගැනීම ජාතියක් ඉලක්ක කරලයි වාර්තා කලේ. ඒ වගේම තමයි මුස්ලීම් ජනතාවගේ වෙළඳාම ගැන වෛරයක් ඇතිවන ආකාරයට, ඔවුන්ගේ කඩ සාප්පු ගැන වෛරයක් ඇතිවන ආකාරයටයි හිරු සහ දෙරණ වාර්තා කළේ.
ඒ සඳහා ඔවුන් යොදාගත්තේ මහජන දේපළක් වූ සංඛ්‍යාත. ලෝකයේ කොහෙවත් නෑ මේ සංඛ්‍යාත නොමිලේ දෙන රටක්.අපි සංඛ්‍යාත නොමිලේ දීලා තියෙන්නේ. වෙන රටවල් සංඛ්‍යාත ටෙන්ඩර් කරලා විශාල ලාභ ලබනවා. වසර කිහිපයකට වරක් ඇගයීම් කරනවා. අපේ එවැනි නීති කිසිවක් නෑ. ඒ වගේම තමයි ඒ රටවල් සංඛ්‍යාත මුදලට දුන්නත් විශාල සමාජ වගකීමක් පවරනවා.

සංඛ්‍යාත අවභාවිත කළා !

දැන් බලන්න අපේ රක්ෂණ සංස්ථාව විතරක් මිලියන 15ක් පමණ මේ මාසයට විතරක් ලබාදී තියනවා. ආයතන ප්‍රධානීන්ට වරදක් කියනවා නෙවෙයි. ඔයාලා මේවා දෙන්නේ රේටින්ග් මත වෙන්න පුළුවන්. ඔවුන් ජනප්‍රිය වෙන්නේ මිනී මරණ, හෙල්මට් දාගෙන විඩි තියන දකුණු ඉන්දීය චිත්‍රපට වගේ මේ දේවල් වාර්තා කරලා. නමුත් මේ නිසා රටට වෙන හානිය ඉතා විශාලයි.

ආණ්ඩුවේ දුෂණ වංචා සහ ඕන දෙයක් විවේචනය කරන්න : ප්‍රශ්නයක් නෑ !

පැහැදිළිව කියන්න ඕන මම මේ කියන්නේ කළු ජූලියක් වගේ තත්ත්වයක් නිර්මාණය කරන්න හදන අය ගැන විතරයි. ආණ්ඩුවේ සිදුවන හොර මැරකම්, දුෂණ හෙළිකරන්න. කිසිම ප්‍රශ්නයක් නෑ. ජනාධිපතිව, අගමැතිව,අපි කැබිනට් අමාත්‍යවරුන්ව විවේචනය කරන්න. ප්‍රශ්නයක් නෑ. නමුත් ජාතිවාදය පෝෂණය කරන්න, මනුෂ්‍ය ලෙයින් පෝෂණය වෙන්න හදන මාධ්‍ය අනුමත කරන්න බෑ.

හිරු සහ දෙරණට : මේ මොහොතේ සිට දැන්වීම් තහනම් !

ඒ නිසා අපි මේ සාකච්ඡාවේදී තීන්දුවක් ගමු. වහාම ක්‍රියාත්මක වන පරිදි හිරු සහ දෙරණ නාලිකා සඳහා අපේ දැන්වීම් ලබාදීම තහනම්. ඒක මේ මොහොතේ සිට ක්‍රියාත්මක වෙන්න ඕන. අපි කාලයක් දීලා බලමු. මාසයක් දෙයක් තුනක් බලමු වෙනසක් වෙයිද කියලා. වෙනසක් වුණොත් පසුව අපේ තීරණය වෙනස් කරන්න පුළුවන්.